10. 13.
පහවූ තෘෂ්ණා ඇති නො මසුරු වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම විශිෂ්ටයන් කෙරෙහි (තමා ඇතුළත් කොට අතිමාන වශයෙන්) නො කියයි, සමානයන් කෙරෙහි ලා නො කියයි, හීනයන් කෙරෙහි ලා නො කියයි. තෘෂ්ණාදෘෂ්ටිකල්ප රහිත වූයේ කල්පනයට නො පැමිණේ.
වීතගෙධො අමච්ඡරී - ‘ගේධ’ යයි තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ගේධය නසන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද හෙතෙම ‘වීතගේධ’ යයි කියනු ලැබේ. හෙතෙම රූපයෙහි අගිද්ධ යැ... දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍ය ධර්‍මයන්හි නො ගිජු යැ, නො ගෙතුණේ යැ, නො මුසපත් වූයේ යැ, නො බැසගත්තේ යැ, වීතගේධ යැ විගත - ත්‍යක්ත - මුක්ත - ප්‍රහීණ - ප්‍රතිනිඍෂ්ටගෙධ යැ, තෘෂ්ණා රහිත වූයේ...ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘වීතගෙධො’ යනු වේ. අමච්ඡරී - ‘මච්ඡරිය’ නම්: ආවාස - කුල - ලාභ - වර්‍ණ - ධර්‍මමාත්සර්‍ය්‍ය යැයි මාත්සර්‍ය්‍ය පසෙකි. මෙබඳු වූ යම් මසුරු බවෙක්... ග්‍රාහයෙක් වේ නම්, මේ මච්ඡරිය යී කියනු ලැබෙයි. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය නසන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් නසන ලද ද හෙතෙම, ‘අමච්ඡරී’ යයි කියනු ලැබේ නුයි ‘වීතගෙධො අමච්ඡරී’ යනු වේ.
න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු - ‘මුනි’ යනු ‘මොන’යී නුවණ කියනු ලැබෙයි... ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ හෝ ‘මම් සදෘශයෙමී’ හෝ ‘මම් හීනයෙමී’ හෝ නො පවසයි නො කියයි නො බෙණෙයි නො දක්වයි, නො වහරා නුයි ‘න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු’ යනු වේ.
කප්පං නෙති අකප්පියො - ‘කප්ප නම්: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්පනයෝ දෙදෙනෙකි. ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට යැ, තෘෂ්ණාකල්පය ප්‍රහීණ බැවින් දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට බැවින් තෘෂ්ණාකල්පයට හෝ දෘෂ්ටිකල්පයට හෝ නො පැමිණෙයි නො එළඹෙයි නො ගනී නො පරාමර්‍ෂ කෙරෙයි නො පිවිසේ නුයි ‘කප්පං නෙති’ යනු වේ. අකප්පියො - ‘කප්පා’ යනු කල්පයෝ දෙදෙනෙකි: තෘෂ්ණාකල්පය දෘෂ්ටිකල්පය දැයි... තෘෂ්ණාකල්පය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට හෙයින් තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙයි, නූපදවයි, වෙසෙසින් නූපදවයි, නො නිපදවයි, වෙසෙසින් නො නිපදවා නුයි ‘කප්පං නෙති අපක්පියො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“වීතගෙධො අමච්ඡරී -පෙ- කප්පං නෙති අපක්පියො” යී
10. 14.
ලොවැ යම් ක්‍ෂීණාස්‍රවයක්හට මාගේ යැයි ගන්නා ලද දැයෙක් නැත් ද, යළි අවිද්‍යමාන බැවින් ශෝක නො කෙරේ ද, සියලු ධර්‍මයන්හි ඡන්දාදිවශයෙන් අගතියට නො යේ ද, ඒ රහත් තෙම ඒකාන්තයෙන් ‘ශාන්තයෙකැ’යි කියනු ලැබේ.
යස්ස ලෝකේ සකං නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයක්හට සකං නත්‍ථි - යමක්හට ‘මේ මාගේ හෝ යැ, මේ මෙරමාගේ හෝ යැ’යි ගන්නා ලද පරාමර්‍ශනය කළ අභිනිවේශ කළ ඇතුළත් වැ සිටි බැසගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා-සඤ්ඤා - සඞ්ඛාර - විඤ්ඤාණ - ගතයෙක් නැත් ද අවිද්‍යමාන ද... නුවණගින්නෙන් දවන ලද නුයි ‘යස්ස ලෝකේ සකං නත්‍ථි’ යනු වේ.
අසතා ච න සොචති - ‘විපරිණත (-වෙනස් වූ) වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව වෙනස් වූ කල්හි හෝ ශෝක නො කෙරෙයි, මාගේ ඇස වෙනස් වී යැයි ශෝක නො කෙරෙයි, මාගේ කන - නැහැය - දිව - කය - මනස - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෝ - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර - මවු - පියා - බෑයා - බූනැණිය - පුත්‍රයා - දුහිතාව - මිත්‍රයෝ - සහායයෝ - නෑයෝ - මාගේ සහලේනෑයෝ වෙනස් වූහ’යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් - අසතා ච න සොචති’ යනු වේ. නොහොත් අසාත (-අමධුර) වූ දුඃඛවෙදනාවෙන් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ පිවිසියේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, චක්‍ෂුරෝගයෙන් ස්පර්‍ශ කරන ලදුයේ පීඩිත වූයේ සමවහිත වූයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, ශ්‍රොතරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශීර්‍ෂරොගයෙන් කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාශයෙන් - ශ්වාසයෙන් - පීනසයෙන් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්‍ෂිරොගයෙන් - මූර්ඡායෙන් - අතිසාරයෙන් - ආමශූලයෙන් - වීරෙචනයෙන් - කුෂ්ටයෙන් - ගණ්ඩයෙන් - කිලාසයෙන් - ශොෂයෙන් - අපස්මාරයෙන් - දද්‍රැයෙන් - කණ්ඩුතියෙන් - මහාකුෂ්ටයෙන් - නියපහරින් - අතුල්පතුල් පැළීමෙන් - රත්පිතින් - මධුමෙහයෙන් - අර්ශසින් - පොළයෙන් - භගන්දරයෙන් - පිත්තරෝගයෙන් - ශෙලෂ්මරොගයෙන් - වාතරෝගයෙන් - සාන්නිපාතිකරොගයෙන් - ඍතුවිපර්‍ය්‍යාසයෙන් උපන් රෝගයෙන් - විෂමවිහරණයෙන් උපන් රෝගයෙන් - උපක්‍රමයෙන් උපන් රෝගයෙන් - කර්‍මවිපාකජ ආබාධයෙන් - සීතයෙන් - උෂ්ණයෙන් - සයින් - පවසින් - මැසිමදුරු වා අව් දිග්දෑ පහසින් ස්පර්‍ශ කරන ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේත් - ‘අසතා ච න සොචති’ යනු වේ.