10. 14.
ලොවැ යම් ක්ෂීණාස්රවයක්හට මාගේ යැයි ගන්නා ලද දැයෙක් නැත් ද, යළි අවිද්යමාන බැවින් ශෝක නො කෙරේ ද, සියලු ධර්මයන්හි ඡන්දාදිවශයෙන් අගතියට නො යේ ද, ඒ රහත් තෙම ඒකාන්තයෙන් ‘ශාන්තයෙකැ’යි කියනු ලැබේ.
යස්ස ලෝකේ සකං නත්ථි - ‘යස්ස’ යනු: අර්හත් ක්ෂීණාස්රවයක්හට සකං නත්ථි - යමක්හට ‘මේ මාගේ හෝ යැ, මේ මෙරමාගේ හෝ යැ’යි ගන්නා ලද පරාමර්ශනය කළ අභිනිවේශ කළ ඇතුළත් වැ සිටි බැසගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා-සඤ්ඤා - සඞ්ඛාර - විඤ්ඤාණ - ගතයෙක් නැත් ද අවිද්යමාන ද... නුවණගින්නෙන් දවන ලද නුයි ‘යස්ස ලෝකේ සකං නත්ථි’ යනු වේ.
අසතා ච න සොචති - ‘විපරිණත (-වෙනස් වූ) වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව වෙනස් වූ කල්හි හෝ ශෝක නො කෙරෙයි, මාගේ ඇස වෙනස් වී යැයි ශෝක නො කෙරෙයි, මාගේ කන - නැහැය - දිව - කය - මනස - රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්රෂ්ටව්යයෝ - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්රශංසාව - සුඛය - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර - මවු - පියා - බෑයා - බූනැණිය - පුත්රයා - දුහිතාව - මිත්රයෝ - සහායයෝ - නෑයෝ - මාගේ සහලේනෑයෝ වෙනස් වූහ’යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් - අසතා ච න සොචති’ යනු වේ. නොහොත් අසාත (-අමධුර) වූ දුඃඛවෙදනාවෙන් ස්පර්ශ කරන ලදුයේ මඩනා ලදුයේ පිවිසියේ සමන්විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, චක්ෂුරෝගයෙන් ස්පර්ශ කරන ලදුයේ පීඩිත වූයේ සමවහිත වූයේ සමන්විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, ශ්රොතරොගයෙන් - ඝ්රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශීර්ෂරොගයෙන් කර්ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාශයෙන් - ශ්වාසයෙන් - පීනසයෙන් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්ෂිරොගයෙන් - මූර්ඡායෙන් - අතිසාරයෙන් - ආමශූලයෙන් - වීරෙචනයෙන් - කුෂ්ටයෙන් - ගණ්ඩයෙන් - කිලාසයෙන් - ශොෂයෙන් - අපස්මාරයෙන් - දද්රැයෙන් - කණ්ඩුතියෙන් - මහාකුෂ්ටයෙන් - නියපහරින් - අතුල්පතුල් පැළීමෙන් - රත්පිතින් - මධුමෙහයෙන් - අර්ශසින් - පොළයෙන් - භගන්දරයෙන් - පිත්තරෝගයෙන් - ශෙලෂ්මරොගයෙන් - වාතරෝගයෙන් - සාන්නිපාතිකරොගයෙන් - ඍතුවිපර්ය්යාසයෙන් උපන් රෝගයෙන් - විෂමවිහරණයෙන් උපන් රෝගයෙන් - උපක්රමයෙන් උපන් රෝගයෙන් - කර්මවිපාකජ ආබාධයෙන් - සීතයෙන් - උෂ්ණයෙන් - සයින් - පවසින් - මැසිමදුරු වා අව් දිග්දෑ පහසින් ස්පර්ශ කරන ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේත් - ‘අසතා ච න සොචති’ යනු වේ.
නොහොත් නැත්තාවූ අවිද්යමාන වූ නොලැබෙන්නාවූ වස්තුවෙහි මට ඒදෙය ඒකාන්තයෙන් වූයේ ය, ඒ පෙර උපන් දෙය දැන් මට නැත, යමක් මට වන්නේ නම්, මම් එය ඒකාන්තයෙන් නො ලබමී’ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැළැපෙයි, ළෙහි අත් ගසා නො හඬයි, බලවත් මෝහයට නො පැමිණේ නුයි මෙසේත් - ‘අසතා ච න සොචති’ යනු වේ.
ධම්මේසු ච න ගච්ඡති - ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයින් අගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්යවශයෙන් - විචිකිත්සා වශයෙන් - අනුශය වශයෙන් නො යෙයි, ව්යග්ර වූ ධර්මයන් විසින් නො ද යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, හරිනු ලැබේ නුයි ‘ධම්මේසු ච න ගච්ඡති’ යනු වේ.
ස වෙ සන්තොති වුච්චති - හෙතෙම ශාන්ත යැ උපශාන්ත යැ ව්යුපශාන්ත හැ නිවුණේ යැ පහවූ ක්ලේශදරථ ඇත්තේ යැ’යි වුච්චති පවසනු ලැබෙයි කියනු ලැබෙයි බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි ව්යවහාර කරනු ලැබේ නුයි ‘ස වෙ සන්තොති වුච්චති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යස්ස ලෝකේ -පෙ- ස වෙ සන්තොති වුච්චති” යී.
දසවැනි ‘පුරාභේද’ සූත්ර නිර්දෙශය යි.
11.
කලහවිවාදසූත්රනිර්දේශය
ඉක්බිති ‘කලහවිවාද’ සූත්රනිර්දේශය කියනු ලැබේ:
11. 1.
කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්නාහු ද? පරිදේව ශෝකයෝ ද මාත්සර්ය්යයෝ ද මාන - අතිමානයෝ ද පිසුනු වචනයෝ ද යන ඒ (අටවැදෑරුම්) ක්ලෙශධර්මයෝ කොතැනින් උපන්නාහු ද ඒ අර්තථය වදාළ මැනවි.
කුතො පහූතා කලහා විවාදා - ‘කලහ’ නම්: එක් අයුරෙකින් කලහයැ. ‘විවාද’ නමුදු එය මැ යි, යමෙක් කලහය නම්, හේ විවාද යැ, යමෙක් විවාදය නම් හේ කලහ යයි, නොහොත් අන් අයුරෙකින් විවාදය කියනු ලැබෙයි: කලහයාගේ පූර්වභාගය විවාද යයි; රජහු ද රජුන් සමග විවාද කෙරෙති, ක්ෂිත්රියයෝ ද ක්ෂිත්රියයන් සමග විවාද කෙරෙති, බමුණෝ බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝ ද ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතු සමග විවාද කෙරෙයි, පුතා ද මව සමග විවාද කෙරෙයි, පියා ද පුතු සමග විවාද කෙරෙයි, පුතා ද පියහු සමග සමග විවාද කෙරෙයි, සොහොයුරා ද සොහොයුරු සමග විවාද කෙරෙයි, සොහොයුරා ද සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරී ද සොහොයුරු සමග විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා සමග විවාද කෙරෙයි; මේ විවාදයයි.