10. 1.
කෙබඳු දර්ශනයකින් යුක්ත වූ කෙබඳු ශීලයකින් යුක්ත වූ පුද්ගල තෙම උපශාන්ත යැයි කියනු ලැබේ ද? ගොයුමාණෙනි, මා විසින් පුළුවුස්නා ලදුවහු ඒ උත්තම පුද්ගලයා වදාළ මැනව.
කථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති - ‘කථංදස්සී’ යනු කෙබඳු වූ කවර සංස්ථාන ඇති කවර ප්රකාර වූ කවර ආකාර වූ දර්ශනයකින් සමන්විත වූයේ නුයි ‘කථංදස්සී’ යනු වේ. කථංසීලො කිදෘශ වූ කෙසේ සිටි කවර ප්රකාර වූ කවර ආකාර වූ ශීලයකින් සමන්විත වූයේ නුයි ‘කථංදස්සී කථංසීලො’ යනු වේ.
උපසන්තොති වුච්චති - ශාන්ත වූයේ උපශාන්ත වූයේ සන්හිඳුණේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ (කෙලෙස්) දුරලන ලද්දේ යයි කියනු ලැබෙයි පවසනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි දක්වනු ලැබෙයි වහරනු ලැබේ. ‘කථංදස්සී’යී අධිප්රඥාව අසයි, ‘කථංසීලො’යී අධිශීලය අසයි, ‘උපසන්තො’යී අධිචිත්තය අසා නුයි ‘කථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති’ යනු වේ.
තං මෙ ගොතම පබ්රෑහි - ‘තං’ යනු: යම් පුද්ගලයකු අසම් ද යමකු අයැදිම් ද, යමකු ආරාධනා කෙරෙම් ද, පහදවම් ද; ඔහු ‘ගොතම’යී ඒ නිර්මිත බුදුහු භාග්යවත් බුදුන් ගෝත්රයෙන් ආමන්ත්රණ කෙරෙති; ‘පබ්රෑහි’ කියනු මැනව පවසවු පනවවු තබනු මැන, විවෘත කරනු මැන, විභාග කරනු මැන, පහළ කරනු මැන, ප්රකාශ කරනු මැනවැ යි’ ‘තං මෙ ගොතම, පබ්රෑහි’ යනු වේ.
පුච්ඡිතො උත්තමං නරං - අසන ලදුවහු විචාරන ලදුවහු අයදන ලදුවහු අරියන ලදුවහු පහදවන ලදුවහු; උත්තමං නරං අග්ර වූ ශ්රේෂ්ඨ වූ විශිෂ්ට වූ පාමොක් වූ උතුම් වූ ප්රවර වූ පුද්ගලයා නුයි ‘පුච්ඡිතො උත්තමං නරං’ යනු වේ.
එයින් කීහ ඒ නිර්මිත බුදුහු:
“කථංදස්සී -පෙ- උත්තමං නරං” යී.
10. 2.
(බුදුහු මෙසේ වදාරති:) යමෙක් ශරීරය බිඳීමෙන් පෙර මැ ප්රහීණ වූ තෘෂ්ණා ඇත්තේ පූර්වාන්ත සඞ්ඛ්යාත අතීතය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇසිරි නො කෙළේ ප්රත්යුත්පන්නයෙහි (රාගරක්ත යැ යනාදීන්) නො ගිණියැ යුත්තේ වේ ද, ඒ රහත් මහණහට අනාගතයෙහි (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) පෙරටු කරන ලද්දෙක් නැත. (ඔහු උපශාන්ත යයි කියමි.)
වීතතණ්හො පුරා බෙදා - කය බිඳීමෙන් පෙර ආත්මභාවය බිඳීමෙන් පෙර කලෙවරය තැබීමෙන් පෙර ජීවිතේන්ද්රියයාගේ සිඳීමෙන් පෙර, ප්රහීණ තෘෂ්ණා ඇත්තේ පහවැගිය තෘෂ්ණා ඇත්තේ හරන ලද තෘෂ්ණා ඇත්තේ වමනය කළ තෘෂ්ණා ඇත්තේ මුදන ලද තෘෂ්ණා ඇත්තේ ගෙවන ලද තෘෂ්ණා ඇත්තේ දුරලන ලද තෘෂ්ණා ඇත්තේ වීතරාග වූයේ විගතරාග වූයේ ත්යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්රහීණරාග වූයේ ප්රතිනිඍෂ්ටරාග වූයේ නිර්වෘත වූයේ සිහිල් වූයේ (කායිකචෛතසික) සුඛානුභවනය කරනුයේ ශ්රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසෙයි.