1223. යම්කලෙක ගංගාවෝ තඩාග බවට හැරී සුදුනෙළුමෙන් සැදුණාහු වෙත් ද, කොවුලෝ සක මෙන් සුදුපැහැ වෙත් ද, දඹගස් තල්ගෙඩි දේ ද එකල්හි ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1224. යම් කලෙක කසුබු ලොමින් කළ තුන්වැදෑරුම් උතුරු සළුවෙක් ද හේමන්ත කාලයට සුදුසු පොරෝනයක් ද වන්නේ නම් එකලැ ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1225. යම් කලෙක මදුරු තුඩුවලින් ශක්තිමත් නො සැලෙන අටල්ලෙක් මනාව කරන ලද්දේ නම්, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1226. යම් කලෙක දෙව්ලොවට නගිනු පිණිස සස අඟින් හිණක් මනාසේ තනන ලද නම්, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1227. යම් කලෙක මීයෙක් හිණට නැඟ හඳ සපා කන් නේ ද, රාහුග්රහයා පලවා හරනේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1228. යම් කලෙක මැස්සෝ රා කළයක් බී සමූහ වැ හැසිරෙනුවෝ ගිනිඅඟුරෙහි වසන්නාහු ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1229. යම් කලෙක බිඹුපල (කෙම්ගෙඩි) වැනි තොල් ඇති, සුන්දර මුහුණ ඇති නෘත්යයට හා ගායනයට දක්ෂ කොටළුවෙක් වේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1230. යම් කලෙක කවුඩෝත් මහමුහුණේත් රහසිගත ව සාකච්ඡා කරන්නාහු ද ඔවුනොවුනට පියමනාප වන්නාහු ද එකලැ ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1231. යම් කලෙක පුලසපත්රයෙන් කළ කුඩය වැස්ස වළකා ගන්නට ශක්තිමත් වන්නේ ද එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1232. යම් කලෙක කුළුඞ්කපක්ෂියෙක් ගන්ධමාදන පර්වතය තුඩින් ගෙන යන්නේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
1233. යම් කලෙක යන්ත්රය සහ පලුපත් සහිත මුහුදු නැවක් කුඩා ගම්දරුවෙක් අතින් ගෙන යන්නේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
9. අට්ඨාන ජාතක යි.
1234. මයිලණුවෙනි, කෙසේ ද? ඉවැසිය හැකි ද? සුවසේ දිවි පැවැත්විය හැකි ද? අද ඔබගේ සුවය මව විචාළා ය. අපි ද තොපට සැප කැමැත්තමෝ වම්හ.
1235. එළිය, මාගේ නඟුට - පාගා බලාත්කාර කොට අදම ‘මයිලණුවෙනි’යි අමතා මිදීගත හැක්කැ යි හඟිහි ද?
1236. පෙරදිගට මුහුණ ලා හුන්නෙහි ය. මම මුඛ වහන්සේගේ ඉදිරියෙන් ආයෙමි. තොපගේ නඟුට පසු පසැ වේ. එය කෙසේ මම මඩනෙම් ද?
1237. සාගර සහිත පර්වත සහිත සතර මහ දිවයින් යම් තාක් ද ඒතාක් මගේ වලග (පැතිර ගියේ) වේ. එය තෝ කෙසේ නම් නොම මැඩැ හරනෙහි ද?