1054. ගෞතමයෙනි, ජාති ජරා ඉක්මවා ගිය අනුන් තමා වසඟයට ගන්නා කළ පින් ඇති දෙසැත්තෑවක් බ්රහ්මයෝ මේ බ්රහ්මලෝකයෙහි වෙසෙති. මෙය ප්රඥාවෙන් පැමිණි උත්තම පැමිණීම ය. අපි දු මෙසේ වම්හ යි බොහෝදෙන ඇඳිලි බැඳ පතති.
1055. බක බ්රහ්මය, තෙපි යම් තැනෙක දීර්ඝායු ඇතැ යි සිතවු ද තෙල දීර්ඝායු නො වෙයි. මඳ ආයු පමණෙක. ඒ එසේ මැ යි. නිරබ්බුද සියක් දහසක් තොපට ආයු ඇතැ යි මම් දනිමි.
1056. භාග්යවතුන් වහන්ස, තෙපි ‘මම අප්රමාණ වූ දැය දක්නෙම් වෙමි, ජාති ජරා ශෝක යන මේවා ඉක්මවා සිටිමි’යි කියව. එබැවින් මාගේ පැරැණි කිනම් ව්රතයක් හෝ සීලසමාදානයක් හෝ වී ද යමක් අසා මම දැනගන්නෙම් නම් තෙල මට කිව මැනවි.
1057. බ්රහ්මයෙනි, යම් හෙයෙකින් තෙපි ග්රීෂ්ම කාලයෙහි ග්රීෂ්මය නිසා පීඩාවට පත් පිපාසිතයන් බොහෝ දෙනකුන්ට පැන් පානය කරවූහු ද තොපගේ ඒ පුරාණ ව්රත සමාදානය ද සිල්වත්කම ද නිදා පිබිදියක්හු මෙන් සිහි කෙරෙමි.
1058. ඒණී නමැති ගංඉවුරෙහි සොරුන් විසින් අල්වා ගන්නා ලද බලාත්කාරයෙන් ගෙනයනු ලබන යම් ජන කෙනකුන් මුදාලී ද තොපගේ ඒ පුරාණ වත ද සීලය ද නිදාපිබිදියක්හු මෙන් සිහි කෙරෙමි.
1059. මිනිසුන් නසනු කැමැති වූ රෞද්ර වූ නාගයකු විසින් ගඞ්ඝාශ්රෝතස්හි දී අල්වාගන්නාලද නැව (ගුරුළුවෙස් ගෙන) බලයෙන් මැඩලා මුදාලී ද තොපගේ පුරාණ ව්රත සමාදානය ද ශීලය ද නිදාපිබිදියක්හු මෙන් සිහි කෙරෙමී.
1060. (‘කෙසව’ තාපස කාලයෙහි) තොපට ‘කප්ප’ නම් අතැවැසි වීමි. යම්බඳු වූ තොප බුද්ධිසම්පන්න යැ යි ද ව්රත සම්පන්න යැ යි ද සිතීමි. තොපගේ ඒ වත සමාදානය ද සීලය ද නිදාපිබිදියක්හු මෙන් සිහි කෙරෙමි.
1061. (තෙපි) ඒකාන්තයෙන් මාගේ තෙල ආයුෂ දන්නහු ය. සෙසු සියල්ලත් දන්නහු ය. එහෙයින් තෙපි බුද්ධ වවු. එහෙයින් මැ තොපගේ මේ දිලිසෙන අනුභාවය බඹලොව එලිකරමින් පවතී.
10. බකබ්රහ්ම ජාතක යි.
පළමුවන කුක්කු වර්ග යි.
තස්සුද්දානය:
කුක්කු ජාතක (වරකණ්ණික) යැ මනෝජජාතක (චාප) යැ සුතනු ජාතක යැ ගිජ්ඣජාතක යැ දබ්භපුප්ඵ ජාතක (රෝහිතමච්ඡ) යැ දසණ්ණකජාතක යැ සත්තුභස්තජාතක යැ අට්ඨිසේන ජාතක යැ කපිජාතක යැ බකබ්රහ්ම ජාතක යැ යි දසයෙකි.