924. එළුවා මූඪ යයි පණ්ඩිතයෝ සැබැවක් මැ කිවු ල. බලව, රහස් තන්හි කටයුතු දෙය නො රහස් තන්හි කරනුයේ අයෝග්ය බව නො දනී.
925. මිතුරු කොටළු පුත්රය, තෙපි වනාහි මට වඩා බාලවහු. කවර හෙයින යත්: වියගස සමග ගෙල රැහැනින් බඳනා ලදහු, වක්වූ තොල් ඇත්තවු, (මුඛබන්ධන රජ්ජුයෙන්) බඳනා ලද මුව ඇත්තහු මට වඩා අඥානය යි දනුව.
926. යහළුව, බන්ධනයෙන් මුදා ලූ තෙපි නො පලායවු ද එය තොපගේ තවත් මෝඩ කමෙකි. තෙපි යම්බඳු සේනක නම් රජකු උසුලවු ද හෙ ද අප දෙදෙනාට වඩා අතිශයින් බාල වෙයි.
927. සගය අජරාජය, යම්හෙයෙකින් මා අඥානය යි දනු ද, සේනක රජ කවර හේතුයෙකින් මූඪ වී ද, මා විසින් විචාරන ලද්දහු එය මට කියව.
928. යමෙක් සියලු ශබ්ද දනැගන්නා මන්ත්ර සඞ්ඛ්යාත උතුම් ධනය ලැබගෙන බිරිඳට දෙන්නේ ද එයින් ඔහුගේ ජීවිතය හැරපියන්නේ යැ. ඒ බිරිඳ ද ඔහට නො වන්නී ය
929. නරේන්ද්රය තොප වැන්නෙක් මේ වස්තුව මට ප්රිය යයි ජීවිතය හැරපියා ප්රිය වස්තූන් සේවන නො කෙරේ මැ යැ. පරම ශ්රේෂ්ඨ වස්තූන්ට ද වඩා ජීවිතය මැ ශ්රේෂ්ඨ ය. වඩනලද ජීවිතය ඇත්තහු විසින් පසුව ප්රිය වස්තු ලද හැක්ක.
1. ඛරපුත්ත ජාතක යි.
930. රළු නැති මටසිළුටු කරගලෙහි ගා ශුද්ධ කළ සුන්දර පාශ ඇති සියුම් වූ තියුණු තුඩ ද ඇති ඉදිකටුව මිල දී ගන්නට කවරෙක් කැමැති වේ ද.
931. (කුරුඳුගල් සුන්නෙන්) මැනැවින් මදනා ලද සුන්දර පාශ ඇති අනුක්රමයෙන් මොනොවට වට වූ කිනිහිරය විනිවිදුනා තද ඉදිකටුව මිලයට ගන්නට කවරෙක් කැමැති වේ ද.
932. දැන් ඉදිකටු ද බිළිකටු ද මේ කඹුරුගමින් ඒ ඒ දිග පැතිර යන්නාහ. කඹුරුගමේ ඉදිකටු විකුණන්නට කැමැති මේ කවරෙක් ද?
933. මෙයින් ආයුධ ද බැහැර යති. නානාවිධ බොහෝ කර්මාන්තයෝ ද (මෙයින් ගෙනගිය උපකරණයෙන් මැ) පවතිත්. මේ කඹුරුගමේ ඉදිකටු විකුණන්නට මේ කවරෙක් සුදුසු වේ ද.
934. දන්නා තැනැත්තා විසින් ඉදිකටුව කඹුරුගම්හි විකිණියයුතු ය. කුමක් හෙයින් ද යත්, මනා නො මනා කර්මාන්තය ශිල්පාචාරීහු මැ දනිත්.
935. සොඳුර තීගේ පියා මා විසින් කරන ලද මේ ඉදිකටුව හැඳින්නේ වී නම් තී ද මට පවරන්නේ ය. ගෙහි යම් අන් ධනයකුත් ඇත් ද එය ද පවරන්නේ යි.
2. සූචි ජාතක යි.
936. අලුත් අයුරෙකින් පිළියෙළ කළ දීමනාවක් දෙනු ලැබේ. අපගේ බත්ඔරුව පිරී තිබේ. අපගේ ස්වාමිදුව ද සිටිනී ය. පාශ ගත් අතැති බොහෝ දෙනා වෙති. මට කන්නට රුචිය ඇති නො වේ.
937. තුණ්ඩිලය, තැති ගත්තෙහි, ඒ මේ අත කැරකෙන්නෙහි ය, පිහිට කැමැත්තෙහි ය, අසරණ වූයේ කොහි යන්නෙහි ද, අල්පොත්සුක ව අනුභව කරන්න. මස සඳහා අපි පෝෂණය කරනු ලබම්හ.
938. මඩ නැති විලට බසුව. ඩහදිය කුණු සියල්ල ඉවත් කරව. යමක් පිළිබඳ ගන්ධය කිසිකලෙකත් නො නැසේ ද එබඳු නව විලේපනයක් ගනුව.
939. මඩ නැති විල කවරේ ද? කුමක් ඩහදිය මලය යි කියනු ලැබේ ද? නව විලේපනය යනු කුමක් ද? කුමක් පිළිබඳ ගන්ධය කිසිකලෙකත් නො නැසේ ද?
940. තුන් සුචරිතය ආදි ගුණදහම් මඩ නැති විල ය. සියලු පාපයෝ ඩහදියමල ය. සීලය නව විලේපනය යි. සීලයේ ගන්ධය කිසිකලෙක නො නැසේ.
941. අන්යයන් නසන්නෝ (අන්යයන් නැසීමේ දී) සතුටු වෙති. සිරුරු දරන්නෝ (තමහට මරණ වාරය පැමිණි සඳ) සතුටු නො වෙති. පුන්සඳ උදා වැ ඇති (අද වැනි) දවස්හි (ගුණයෙන් පිරුණු අප වැන්නෝ) ප්රීති සිතැති ව ම ජීවිතය අත් හරිති.
3. තුණ්ඩිල ජාතක යි.