918. බමුණ, සාකේත නගරයේ අංජන උයනට යන්නේ නම් තොපගේ මහලු මව්පිය දෙදෙන තා දක්නට කැමැත්තෝ ය යි අපගේ ඖරස පුත්‍ර නන්‍දියට කියව.
919. බමුණ (මුවන්ට) ගොදුරු පිණිස වපුළ රජු අයත් තෘණ හා පැන් මා විසින් අනුභව කරන ලදී. රජු සතු ඒ ආහාරය නිකම් බුදින්නට මම වෑයම් නො කරමි.
920. දුනුහී ගෙන ආ රජුට මා විදුව කියා මම සිරුරේ ඇළය පෙන්වා සිටිමි. එසඳ සුවපත් වූ මරණින් මිදුණු මම මෑණියන් දක්නෙම් නම් යෙහෙකැ.
921. කොසොල් රජුගේ වාසභවනයට සමීප වූ උයන්හි ශොභාසම්පන්න වූ නන්‍දිය නමැති සිවුපාවෙක් වූයෙම් ද.
922. මුවන්ට වාසය පිණිස දුන් අංජන උයන්හි දී කොසොල් රජ දුනුදිය නඟා ඊතලය පිහිටුවා මා විදිනට ආයේ ය.
923. ඊතල ගත් රජුට මගේ සිරුරේ ඇළය පෙන්වා මා මරව යි කියා සිටිමි. ඉක්බිති සුවපත් ව මරණින් මිදී මෑණියන් දක්නට ආමි.
10. නන්‍දියමිග ජාතක යි.
පළමුවන අවාරිය වග යි.
තස්සුද්දානය:
ආවාරියා කුජ්ඣ ජාතක යැ සේතකේතු ජාතක යැ දරීමුඛ ජාතක යැ නෙරු ජාතක යැ ආසඞ්ක (ආසා) ජාතක යැ මිගාලෝප (නන්‍ද) ජාතක යැ සිරිකාලකණ්ණි ජාතක කුක්කුට (සුචින්ත) ජාතක යැ ධම්මධජ ජාතක යැ නන්‍දියමිග ජාතක යැ ජාතක දසයෙකි.
2. සේනක වර්‍ගය
924. එළුවා මූඪ යයි පණ්ඩිතයෝ සැබැවක් මැ කිවු ල. බලව, රහස් තන්හි කටයුතු දෙය නො රහස් තන්හි කරනුයේ අයෝග්‍ය බව නො දනී.
925. මිතුරු කොටළු පුත්‍රය, තෙපි වනාහි මට වඩා බාලවහු. කවර හෙයින යත්: වියගස සමග ගෙල රැහැනින් බඳනා ලදහු, වක්වූ තොල් ඇත්තවු, (මුඛබන්‍ධන රජ්ජුයෙන්) බඳනා ලද මුව ඇත්තහු මට වඩා අඥානය යි දනුව.
926. යහළුව, බන්‍ධනයෙන් මුදා ලූ තෙපි නො පලායවු ද එය තොපගේ තවත් මෝඩ කමෙකි. තෙපි යම්බඳු සේනක නම් රජකු උසුලවු ද හෙ ද අප දෙදෙනාට වඩා අතිශයින් බාල වෙයි.
927. සගය අජරාජය, යම්හෙයෙකින් මා අඥානය යි දනු ද, සේනක රජ කවර හේතුයෙකින් මූඪ වී ද, මා විසින් විචාරන ලද්දහු එය මට කියව.
928. යමෙක් සියලු ශබ්ද දනැගන්නා මන්ත්‍ර සඞ්ඛ්‍යාත උතුම් ධනය ලැබගෙන බිරිඳට දෙන්නේ ද එයින් ඔහුගේ ජීවිතය හැරපියන්නේ යැ. ඒ බිරිඳ ද ඔහට නො වන්නී ය
929. නරේන්‍ද්‍රය තොප වැන්නෙක් මේ වස්තුව මට ප්‍රිය යයි ජීවිතය හැරපියා ප්‍රිය වස්තූන් සේවන නො කෙරේ මැ යැ. පරම ශ්‍රේෂ්ඨ වස්තූන්ට ද වඩා ජීවිතය මැ ශ්‍රේෂ්ඨ ය. වඩනලද ජීවිතය ඇත්තහු විසින් පසුව ප්‍රිය වස්තු ලද හැක්ක.
1. ඛරපුත්ත ජාතක යි.
930. රළු නැති මටසිළුටු කරගලෙහි ගා ශුද්ධ කළ සුන්‍දර පාශ ඇති සියුම් වූ තියුණු තුඩ ද ඇති ඉදිකටුව මිල දී ගන්නට කවරෙක් කැමැති වේ ද.
931. (කුරුඳුගල් සුන්නෙන්) මැනැවින් මදනා ලද සුන්‍දර පාශ ඇති අනුක්‍රමයෙන් මොනොවට වට වූ කිනිහිරය විනිවිදුනා තද ඉදිකටුව මිලයට ගන්නට කවරෙක් කැමැති වේ ද.
932. දැන් ඉදිකටු ද බිළිකටු ද මේ කඹුරුගමින් ඒ ඒ දිග පැතිර යන්නාහ. කඹුරුගමේ ඉදිකටු විකුණන්නට කැමැති මේ කවරෙක් ද?
933. මෙයින් ආයුධ ද බැහැර යති. නානාවිධ බොහෝ කර්‍මාන්තයෝ ද (මෙයින් ගෙනගිය උපකරණයෙන් මැ) පවතිත්. මේ කඹුරුගමේ ඉදිකටු විකුණන්නට මේ කවරෙක් සුදුසු වේ ද.