812. හංසයා පලාස දෙවියාට මෙසේ කී ය: යහළුව, නුගරුකෙක් හටගනී. ඒ නුගරුක තොපගේ අඞ්ක සඞ්ඛ්‍යාත වෙලෙප්හි හුන්නේ මැ තොපගේ මර්‍මයන් සිඳුනේ යැ.
813. නුගරුක වැඩේවා. මේ රුකට මම පියකු මෙන් හෝ මවක මෙන් හෝ පිහිට වෙමි. තෙල තැනැත්තේ මහලු මාපියනට දරුවකු මෙන් පිහිට වන්නේ යැ.
814. යම් හෙයෙකින් තෙපි බිය ගෙන දෙන කිරිගස ඇකයේ වඩවු ද (එහෙයින්) තොප අමතා යම්හ. මේ නුග රුක්හි වර්ධනය මට රුස්නේ නො වෙයි.
815. (බාල කල්හි මා තුටු කළ මේ නුගරුක) දැන් (වැඩීගියෙ) මා බිය පත් කරයි. හංසයාගේ මහමෙර බඳු වචනය අසා නො දැන මට මහබියෙක් ආයේ ය.
816. යමෙක් වැඩෙනුයේ තමහට වූ මූල ප්‍රතිෂ්ඨාව නසා ද ඔහුගේ ඒ වැඩීම නුවණැත්තන් විසින් නො පසස්නා ලද ය ඔහුගෙන් වන විනාශය යයි සැක කරන නුවණැත්තේ මුලිනුපුටන්නට වෑයම් කරන්නේ ය.
10. පලාස ජාතක යි.
දෙවැනි වණ්ණාරෝහ වර්‍ග යි.
3. අඩ්ඪ වර්‍ගය
817. රජතුමනි, මගේ වසයට පත් ඔබ දුකින් මුදන්නට කිසියම් හේතුවක් තිබේ ද?
818. දරුව, තාගේ වසයට පත් මෙබඳු මා දුකින් මුදා ද එයට කිසි යම් හේතුවක් නැත.
819. රජතුමනි, සුචරිතයට වඩා අනෙකක් මරණකාලයෙහි රක්නේ නො වෙයි. සුභාෂිතයට වඩා අනෙකක් මරණකාලයෙහි රක්නේ නො වෙයි. ඒ දෙකට වඩා මුතු මැණික් ආදි අන් ධනය මරණකාලයෙහි රක්නේ නො වේ. ධනයට වඩා සුචරිතය හා සුභාෂිතය ශ්‍රේෂ්ඨ යයි කී සේ ය.
820. මට ආක්‍රෝශ කෙළේ ය, මට ගැසුවේ ය, මා පැරදවීය, මා සතු දැය පැහැර ගත්තේ යයි යම් කෙනෙක් වෙර බඳිත් ද ඔවුන්ගේ වෛරය නො සන්හිඳෙයි.
821. මට ආක්‍රෝශ කෙළේ ය මට ගැසුවේ ය, මා පැරදවීය, මා සතු දැය පැහැර ගත්තේ යයි යම් කෙනෙක් වෙර නො බඳිත් ද ඔවුන්ගේ වෛරය සන්හිඳේ.
822. මෙලොවැ, වෛරයෙන් වෛරය කිසි කලෙක නො සන්හිඳෙයි. අවෛරයෙන් (මෛත්‍රියෙන්) වෛරය සන්හිඳේ. මෙය සනාතන (හැම කල්හි පවත්නා) ධර්‍මයෙකි.
1. දීඝිති කෝසල ජාතක යි.
823. මිය ගිය කෙනකුට ශෝක කිරීම යන යමක් වේ ද එය ගිහි ජීවිතය හැරදා පැවිදි වූ ශ්‍රමණයකු වූ ඔබට නො ගැළපේ.
824. ශක්‍රය, එක් ව විසීමෙන් ඒකාන්තයෙන් මනුෂ්‍යයාගේ සහ මෘගයාගේ සිතෙහි ප්‍රේමය හටගනී. ශෝක නො කර සිටින්නට නො පිළිවන.
825. මළවුන්ටත් මැරෙන්නවුන්ටත් යම් කෙනෙක් හඬත් ද වැළපෙත් ද ඒ හැඬීම හිස් ක්‍රියාවකැ යි බුද්ධාදි සත්පුරුෂයෝ කීහ. එහෙයින් ඍෂිය නො හඬන්න.
826. බ්‍රහ්මය, ඒකාන්තයෙන් හැඬීම නිසා මියගිය තැනැත්තේ නැගිටී නම් හැමදෙන එක් වී ඔවුනොවුන්ගේ මළ නෑයන්ට හඬමු.
827. ගිතෙල් ඉසැ දැල්වූ ගින්නක් මෙන් මගේ සිත ඒකාන්තයෙන් ශෝක ගින්නෙන් ඇවිළ පැවැත්තේ ය. දිය ඉසි න ලද කලෙක මෙන් සියලු දාහ නිවී ගියේ ය.
828. සොවින් පෙළුණු මගේ පුත්‍රශෝකය යමෙක් දුරු කෙළේ ද හේ මගේ හදවතේ ඇනී තුබූ ශෝක නමැති හුල ඒකාන්තයෙන් උදුරාලී ය.