751. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්‍මපාල කුමරුවා මුදවා මාගේ අත් කපන්නේ මැනැවි.
752. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරැදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්‍මපාල කුමරුවා මුදාවා! මාගේ පා කපව.
753. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරැදි කෙළෙම් නසන ලද වැඩ ඇතියෙම් මම් ම ය. මේ ධර්‍මපාල කුමරුවා මුදාවා! මාගේ හිස සිඳුව.
754. ඖරස පුත්‍රයා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද, (එහෙයින්) මේ රජුට මිතුරෝ ද නෑයෝ ද හිතවත්තු ද ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
755. පුතා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද (එහෙයින්) මේ රජුට මිතුරෝ නෑයෝ හිතවත්තු ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
756. පොළොවට හිමිකරු වූ ධර්‍මපාල කුමාරයාගේ සඳුන් කල්ක ගල්වන ලද දෑත කපති. දේවයන් වහන්ස, මාගේ පණ නිරුද්ධ වේ.
8. චුල්ලධම්මපාල ජාතක යි.
757. එම්බා මෘගය, මහාමෘගය, වෑයම් කරව. රන්වන් පා ඇති මෘගය වෑයම් කරව, වරපටීන් තැනූ පුඬුව සිඳින්න. එකලා වැ වනයෙහි (වාසයට) මම නො ඇලෙමි.
758. උත්සාහ ගනිමි. පුඬුව සිඳලන්නට නො හැක්කෙමි. වේගයෙන් පොළොවට පහර දෙමි, තද වරපටින් කළ පුඬුව මගේ පා කපයි.
759. වැද්දාණෙනි, මස් තැබීමට කොළ අතුරව. කඩුව කොපුවෙන් ඉවත ගනුව. පළමුව මා මරා පසුව මහාමෘගයා මරව.
760. මනුෂ්‍ය භාෂාවෙන් කියන (කථාකරන) මුවදෙනක (පිළිබඳ) මා අසා නැත. දකින ලද්දේ ද නැත. සොඳුර, තෝ සුවපත්ව, මහමුවා ද සුවපත් වේවා!
761. වැද්දාණෙනි, පුඬුවෙන් ගැළවුණ මහාමෘගයා දැක මම අද යම්සේ සතුටු වෙම් ද, එසේ තෙපි ද තොපගේ නෑයන් සමග සතුටු වේවා!
9. සුවණ්ණමිග ජාතක යි.
762. තම්බ රජතුමනි, මිදෙල්ලමල්හි සුවඳ හමයි. දිය සයුර ද හඬ නඟයි. සුසන්‍ධි බිසොව මෙයින් දූර දෙසෙක වසයි. කාම සිතුවිලි මගේ හදවත පෙළයි.
763. සයුර කෙසේ තරණය කෙළේ ද සේරුම දූපත කෙසේ දුටුවේ ද සග්ගය, ඇගේ ද තාගේ ද සමාගමය හෙවත් එක්වීම කෙසේ වී ද.
764. භරුකච්ඡ නැමැති තොටුපලින් පිටත්ව ධන සෙවීමට යන වෙළෙඳුන්ගේ නැව මෝරුන් විසින් බිඳින ලද මම පුවරුකඬෙකින් එතෙර ගියෙමි.
765. නිතර හමා යන සඳුන් සුවඳැති ඒ භද්‍රාවෝ මුදුමොළොක් බසින් කතා කොට ඖරස පුත්‍රයකු ගන්නා මවක මෙන් මා දෝතින් ගොඩට ගත්හ.
766. තම්බය, ඒ චිත්‍රලෝචනාවෝ මා ආහාරපානයෙන් ද වස්තුයෙන් හා සයනයෙන් ද පිනවූහ. එපමණක් නොව අභිරමණයෙන් ද මා පිනවූහ. එය මෙසේ දනු මැනැවි.
10. සුසන්‍ධි ජාතක යි.
පළමුවන මණිකුණ්ඩල වර්‍ග යි.
එහි උද්දානය:
මණිකුණ්ඩල (ජිනවර) ජාතක යැ, සුජාත (හරිත) ජාතක යැ, ධොනසාක (හිනනපලව) ජාතක යැ, උරගජාතක යැ, ඝතජාතක යැ, කාරණ්ඩිය (දිරි) ජාතක යැ, ලටුකික (කුඤ්ජර) ජාතක යැ, චුල්ලධම්මපාල (භූනහත) ජාතක යැ, සුවණ්ණමිග (මිගපුත්ත) ජාතක යැ, සුසන්‍ධි (සග්ග) ජාතක යැ යි දසයෙක් වේ.