762. තම්බ රජතුමනි, මිදෙල්ලමල්හි සුවඳ හමයි. දිය සයුර ද හඬ නඟයි. සුසන්ධි බිසොව මෙයින් දූර දෙසෙක වසයි. කාම සිතුවිලි මගේ හදවත පෙළයි.
763. සයුර කෙසේ තරණය කෙළේ ද සේරුම දූපත කෙසේ දුටුවේ ද සග්ගය, ඇගේ ද තාගේ ද සමාගමය හෙවත් එක්වීම කෙසේ වී ද.
764. භරුකච්ඡ නැමැති තොටුපලින් පිටත්ව ධන සෙවීමට යන වෙළෙඳුන්ගේ නැව මෝරුන් විසින් බිඳින ලද මම පුවරුකඬෙකින් එතෙර ගියෙමි.
765. නිතර හමා යන සඳුන් සුවඳැති ඒ භද්රාවෝ මුදුමොළොක් බසින් කතා කොට ඖරස පුත්රයකු ගන්නා මවක මෙන් මා දෝතින් ගොඩට ගත්හ.
766. තම්බය, ඒ චිත්රලෝචනාවෝ මා ආහාරපානයෙන් ද වස්තුයෙන් හා සයනයෙන් ද පිනවූහ. එපමණක් නොව අභිරමණයෙන් ද මා පිනවූහ. එය මෙසේ දනු මැනැවි.
10. සුසන්ධි ජාතක යි.
පළමුවන මණිකුණ්ඩල වර්ග යි.
එහි උද්දානය:
මණිකුණ්ඩල (ජිනවර) ජාතක යැ, සුජාත (හරිත) ජාතක යැ, ධොනසාක (හිනනපලව) ජාතක යැ, උරගජාතක යැ, ඝතජාතක යැ, කාරණ්ඩිය (දිරි) ජාතක යැ, ලටුකික (කුඤ්ජර) ජාතක යැ, චුල්ලධම්මපාල (භූනහත) ජාතක යැ, සුවණ්ණමිග (මිගපුත්ත) ජාතක යැ, සුසන්ධි (සග්ග) ජාතක යැ යි දසයෙක් වේ.
2. වණ්ණාරෝහ වර්ගය
767. සුදාඨයෙනි, (තෙපි) ශරීරවර්ණයෙන් ද ආරෝහපරිණාහයෙන් ද උත්තම ජාතියෙන් ද කාය බලයෙන් හා වීර්ය්ය බලයෙන් ද සුබාහු නම් ව්යාඝ්රයා මට වඩා උසස් නො වේ යයි කියවු ද?
768. එම්බා සුබාහු, (තෙපි) ශරීරවර්ණයෙන් ද ආරෝහපරිණාහයෙන් ද උත්තම ජාතියෙන් ද කාය බලයෙන් හා වීර්ය්ය බලයෙන් ද සුදාඨ මට වඩා උසස් නො වේ යයි කියවු ද?
769. සගය, සුබාහු මෙසේ තා හා සමග වැවසන මා හිවලාගේ බස් පිළිගෙන නසනු කැමැත්තහු ය. මෙතැන් පටන් මම තා සමග වසනු නො කැමැත්තෙමි.
770. යමෙක් මෙරමාගේ මිථ්යාවචනයන් තථ්ය ලෙස හදහා ගනී ද හේ මිතුරා කෙරෙහි වහා බිඳෙන්නේ යැ. බොහෝ වූ වෛරය ද දනවන්නේ යැ.
771. යමෙක් හැමදා නො පමාව මිත්රභේදයෙහි සැක ඇත්තේ ද මිත්රයාගේ සිදුරු මැ දක්නාසුලු වේ ද හේ මිතුරෙක් නො වෙයි. යමෙක් ඖරස පුත්රයකු මෙන් වෙසේ ද අනුන් විසින් බිඳිය නොහැකි වේ ද හේ ඒකාන්තයෙන් මිතුරෙක් වේ.
1. වණ්ණාරෝහ ජාතක යි.
772. සීලය ශ්රේෂ්ඨ වේ ද ශ්රැතය ශ්රේෂ්ඨ වේ දැ? යි මට සැකයෙක් විය. ශ්රැතයට වඩා ශීලය මැ ශ්රේෂ්ඨ වේ යන මෙහි (දැන්) සැකයෙක් මට නැත.
773. ක්ෂත්රියාදි ජාති ද ශරීර වර්ණ ද තුච්ඡ යැ. සීලය ම උතුම් වේ. සීලයෙන් යුක්ත නො වූවහුගේ ශ්රැතයෙන් ප්රයෝජනයෙක් නැත.
774. අධර්මයෙහි පිහිටි ක්ෂත්රියයා ද අධර්මය ඇසුරු කළ වෛශ්යයා ද යන දෙදෙන දෙව්මිනිස් දෙලොව හැර දුගතියෙහි උපදිති.
775. ක්ෂත්රිය යැ බ්රාහ්මණ යැ වෛශ්ය යැ ශුද්ර යැ චණ්ඩාල යැ බබුරු යැ යන කුලයන්හි උපන්නේ මෙලොව පින්කම් කොට දෙව්ලොව දී සම වෙති.
776. වේදයෝ ද ජාතිය ද නෑයෝ ද පරලොව සුව පිණිස නො වෙත්. තමාගේ පිරිසුදු සීලය මෙලොව පරලොව සුව පිණිස වේ.
2. සීලවීමංස ජාතක යි.