636. රජතුමනි, කඩුව දරා සන්නද්ධ වැ රිටිසුඹුලු හඳනා වූ තොපගේ පැලැහූ ගොයා වනමැද ඇසැතු රුක්හි ශාඛායෙන් පලාගියා වේ ද එදවස් මැ මා විසින් තෙපි දන්නා ලද්දහු යැ.
637. යමෙක් තමා දෙස නැමේ ද ඔහුට මැ තෙමේ ද නැමෙන්නේ ය. තමා භජනය කරන්නහු තෙමේ ද භජනය කරන්නේ ය. තමහට අනුකූල වැ ක්‍රියා කරන්නහුට සුදුසු කෘත්‍යයක් තෙමේ ද තමහට අනර්‍ත්‍ථ කැමැත්තාහට තෙමේ ද අර්‍ත්‍ථයක් නො කරන්නේ ය. තමා ළඟට නො එන්නවුන් කරා තෙමේ ද නො යන්නේ ය.
638. තමා හරනහු තෙමේ ද හරනේ යැ. (ඔහුට) ආශා නො කරන්නේ ය. නො ඇලුණු සිතින් භජනය නො කරන්නේ යැ. පක්‍ෂියා ගස ගෙඩි රහිත බව දැනැ ගෙඩි ඇති අන් ගසක් සොයා යන්නේ ය. ලොව විශාල වේ මැ ය.
639. ක්‍ෂත්‍රියාවනි, කළ ගුණ සලකන මම ශක්ති පමණින් තිට උපකාර කරන්නෙමි. තිට සියලු සම්පත් දෙමි. තෝ යමකුට යමක් දෙනු කැමැත්තෙහි ද ඔහුට දෙව.
3. පක්කගෝධ ජාතක යි.
640. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා වක්ව යේ ද, ප්‍රධාන ගවයා වක් වැ ගිය කලැ සියලු ගවයෝ වක් වැ යෙති.
641. එපරිද්දෙන් මනුෂ්‍යයන් අතරේ යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද, ඉදින් හේ නො දැහැමි ව හැසිරේ ද (ක්‍රියා කෙරේ ද) සෙස්සන් ගැන කවර කථා ද? ඉදින් රජතුමා අධාර්මික වේ ද (එකල) රටවැසි සියලුදෙන දුකින් හෝනේ යි.
642. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා ඍජු ව පීනා යේ ද, ප්‍රධාන ගවයා ඍජු වැ පීනා යන කලැ සියලු ගවයෝ ඍජු ව යෙති.
643. එ පරිද්දෙන් මනුෂ්‍යයන් අතුරෙහි යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද ඉදින් හේ දැහැමි ව ක්‍රියා කෙරේ ද සෙස්සන් ගැන කවර කථා යැ? ඉදින් රජතුමා දැහැමි වේ ද (එකල) රටවැසි සියලු දෙනා සුවසේ හෝනේ යි.
4. රාජෝවාද ජාතක යි.
644. ජම්බුකය, හේ මහත් වූ වැඩුණු කය ඇත්තේ යැ. දික්වූ දළ ඇත්තේ යැ. යම් සිංහ කුලයෙකැ උපන්නාහු ඇතු අල්ලා ගනිත් ද, තෙපි ඒ කුලයෙහි නූපන්නාහු ය.
645. සිංහයකු නො වී සිංහ මානය උපදවා ගෙන යමෙක් සිංහවෙස් මවා ගනී ද (හේ) ඇතු වෙත පැමිණි හිවලා මෙන් කෙඳිරිගාමින් බිම හෝනේ ය.
646. ඉසුරු ඇති වට වැ හැසුණු කඳට ඇති මහබල ඇති ඤාණබලයෙන් යුක්ත වූ උත්තම පුද්ගලයාගේ ශක්තිය බලය උත්පත්තිය ද නො විමසා (ක්‍රියා කළ) ඒ සිවලා ඇතු විසින් නසන ලද්දේ හෝනේ යි.
647. යමෙක් මෙලො වැ තමා කෙරෙහි වූ ඤාණබල හා කායබල දැනැ පරීක්‍ෂාවෙන් ක්‍රියා කෙරේ ද හෙතෙම ජපයෙන් අධ්‍යනයෙන් ද සාකච්ඡායෙන් ද සුබැසි කථායෙන් ද පරීක්‍ෂායෙන් යුක්ත වූයේ වේ ද හේ මහත් ජය ලබයි.
5. ජම්බුක ජාතක යි.