576. වසන්ත කාලයේ රක්ත වර්ණය ඇති කණේරු වෙනෙහි දී ඔබ සාමා නමැති යම් ස්ත්රියක් බාහුයෙන් පෙළී ද ඕ තොමෝ තොපට අරෝග බව කිව.
577. පින්වත, සුළඟ පර්වතයක් (තණපතක් සේ) පා කර හරින්නේ නම් එය විශ්වාස කළ නො හේ ම ය. ඉදින් සුළඟ පර්වතයක් පා කරා නම් පොළොව ද පා කරයි. යම් තැනෙකැ සාමා මරණයට පත් වූ ද ඕතොමෝ මට අරෝග බව කිව යනු දු නො විය හේ මැ යි.
578. සාමා කලුරිය නො කළා ය. ඕ තොමෝ අනිකකු නො කැමැත්තී ය. ඒකභක්තික වූ සාමා තොප ම පතන්නී ය.
579. සාමා සංසර්ගයක් නො කළා වූ අස්ථිර වූ මා දිගු කලක් සංසර්ග කළ ස්ථිර සැමියාගෙන් පිරිවට (හුවමාරු) කළා සාමා මා කරණකොටගෙන ද අනෙකකු පිරිවට ගන්නී ය. මම මෙතැනිනුත් ඉතා ඈතට යන්නෙමි.
8. කණවේර ජාතක යි.
580. ස්වාමීනි, ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමි. කෑම ද ලබමි. එහෙත් උපද්රවයෙහි සිටිමි. මට කවර පිහිටක් ද?
581. පක්ෂිය, තොපගේ සිත පාපක්රියාවට නො නැමේ. පාප කර්මයෙහි නො යෙදෙන යහපත් පැවතුම් ඇති තොපට පාපය නො ඇලේ. (හෙවත් පාපයක් නැත).
582. අපේ නෑයෙක් හුන්නේ යයි බොහෝ දෙනා (පක්ෂීහු) එති. මා නිසා ප්රාණඝාත අකුශලය ලබයි. මගේ සිත (මේ කරුණෙහි ලා) සැක කෙරේ.
583. ඉදින් තොපගේ සිත අදූෂිත නම් (වධක චේතනා නැති නම්) තා නිසා ප්රාණඝාත කර්මය සිදු නො වේ. පාපකර්මයට උත්සාහ රහිත වූ පැවැත්ම ඇතියාට පාපය නො ඇලේ. (හෙවත් පාපය සිදු නො වේ.)
9. තිත්තිර ජාතක යි.
584. වචනමාත්රයෙන් දිය හැකි ව තිබියදී ද දෙන්නට පිළිවන් දෙය ඒකාන්තයෙන් නුදුන්නේ ය. වචනමාත්රයෙන් රන්මුවා පව්ව දෙන ඔහුට කවර හානියක් ද? එහෙත් වචනමාත්රයෙන් නුදුන්නේ ය.
585. යමක් කරන්නේ ද එය කියන්නේ ය. යමක් නො කරන්නේ ද එය නො කියන්නේ ය. දානාදි පුණ්යක්රියා නො කරන බොරු කියන්නවුන් පඬිවරු දැනගනිත්.
586. රාජපුත්රය, සත්යවචනයෙහි ද ස්වාභාවධර්මයෙහි ද පිහිටි යම්බඳු ඔබ විපතට පැමිණියේ වුව ද (ඔබේ) සිත සත්යකතායෙහි ම ඇලේ. එහෙයින් තොපට නමස්කාර වේවා.
587. යම් ස්ත්රියක් දිළිඳු සැමියාට දිළිඳු බිරිඳ වී ද ධනවත් සැමියාට ධනවත් බිරිඳ වී ද කීර්තිය ඇති ඕ තොමෝ මොහුගේ උතුම් වූ බිරිඳ ය. රන්රුවන් ආදි ඉසුරු ඇතියහුට ස්ත්රීහු වෙති. (ඒ ආශ්චර්ය්ය නො වේ.)
10. සුච්චජ ජාතක යි.
දෙවෙනි පුචිමන්ද වර්ග යි.
එහි උද්දාන:
සොරකු සඳහන් කරන පුචිමන්ද ජාතක යැ, කස්සපමන්දිය ජාතකය, සහිත උතුම් ක්ෂාන්තිවාදී ජාතක යැ, දුට්ඨ ජීවිත ඇති ලෝහකුම්භි ජාතක යැ, පරුෂාදී වචන ඇති මංස ජාතක යැ, යළි සස ජාතක හා (මතංච) මත රෝදන ජාතකය ද වසන්ත සමය කියන කණවේර ජාතක යැ, (සුඛං) තිත්තිර ජාතක යැ, සුච්චජ ජාතකයෙන් දසය වේ.