536. මෘගරාජය, අපට යම් තරමක බලයක් වී ද ඒ පමණින් ඔබට වැඩ කෙළෙමු. ඔබට නමස්කාර වේවා! කිසිවක් ලබමෝ නම් මැනවි.
537. නිතියෙන් රුදුරුකම් කෙරෙමින් ලේ මස් කන මාගේ දත් අතරට ගොස් නො මැරී ජීවත් වීම ම තා ලද උපකාරය වේ.
538. කළගුණ නො දත් සිය කැමැත්තෙන් උපකාරයකුදු නො කරන උපකාර කළහුට ප්‍රත්‍යුපකාර නො කරන කෙනකු වේ නම්, කළ ගුණ යමකුට නො වේ නම් ඔහුගේ ආශ්‍රය නිෂ්ඵල ය.
539. යමකුගේ හමුවේ කළ ගුණයෙන් මිත්‍රධර්‍මය නො ලැබේ ද, (එකලැ) ඔහුට ඊර්‍ෂ්‍යා නො කොට නො දොඩා සෙමෙන් ඔහුගෙන් ඉවත් වන්නේ ය.
8. ජවසකුණ ජාතක යි.
540. අප කළ හැමදෙය ම ලාමක ය. යමෙක් ධර්‍මය හදාරවා ද යමෙක් ධර්‍මය හදාරා ද දෙදෙන ම පැරැණි ධර්‍මය (සිරිත්) නො බලති. දෙදෙන ම ප්‍රකෘති ධර්‍මයෙන් ගිලිහුණෝ ය.
541. නන් අයුරින් පිළියෙළ කළ පවිත්‍ර මාංසසූපයන් සමග ඇල්හාලේ බත බුදිමි. එහෙයින් බුද්ධාදි උතුමන් සෙවි මෙ දහම නො සෙවීමි.
542. මෙතැනින් අන් තැනකට යව. ලෝකය විශාල ය. සෙසු සත්ත්‍වයෝ ද (කෑම) පිසිත්. ගලක හැපී කළයක් බිඳෙන පරිදි හැසිරුණු තා අධර්‍මය නිසා නො නැසේවා.
543. බමුණ, ඒ යසස් ලැබීමට හා වස්තු ලැබීමට ද අපායෙහි වැටීමට හේතුවන යම් නො දැහැමි පැවැත්මක් වේ ද එයට ද නින්‍දා වේවා.
9. ඡවක ජාතක යි.
544. දැහැන්සුව සහිත පැවිද්ද හැර දමා සාගරයට කුණ්ඩලාභරණයක් වැනි චක්‍රවාට පර්‍වත සහිත මහපොළොව (ලබාගන්නට) නො කැමැත්තෙමි. සය්හය, මෙසේ දැනගනුව.
545. බමුණ, යශස් ලැබීමට ද වස්තු ලැබීමට ද අපායෙහි වැටීමට හේතුවන යම් නො දැහැමි පැවැත්මක් වේ ද එයට ද නින්‍දා වේවා.
546. ගෘහ රහිත වූයෙම් පාත්‍රය ගෙන හාත්පස ගෙහි භික්ශාටනය කෙළෙම් ද, යම් බඳු අධර්‍ම ඒෂණාවක් ඇද්ද එයට වඩා ඒ භික්‍ෂාටනයෙන් කරන ජීවිකාව ම උතුමි.
547. ලොවැ අනිකකු නො පෙළමින් අනගාරිකව පාත්‍රයක් ගෙන ගේ නැති ව පිඬු සිඟා යන්නෙම් නම් එය රාජ්‍යයට වඩා උතුම් වේ.
10. සය්හ ජාතක යි.
පළමුවන විවර වර්‍ග යි.
එහි උද්දානය:
දොර විවර කරවයි කී චූළකාළිඞ්ග ජාතක යැ, අදෙය්‍යෙසු යනාදිය පැවසූ මහාඅස්සාරෝහ ජාතක යැ, සමෘද්ධ කාමගුණ ඇති ඒකරාජ ජාතක යැ, යළි දද්දර ජාතක යැ, පාපකාරීහට රහස් නැති සේ කී සීලවිමංස ජාතක යැ, (කෝලි) සුජාතා ජාතක යැ, පලාස ජාතක යැ, අකරම්හසෙ යනාදිය කී ජවසකුණ ජාතක යැ, චරිමවත දැක්වූ ඡවක ජාතක යැ, (සමුද්දවර) සය්හ ජාතකයෙන් දසය වේ.