469. මත්ස්‍යයෝ (මසුරන්) දහසකට වඩා අගිතී යන්න අදහන්නෙක් නැත. මෙහි මට ද මාසක සතක් ඇත. මම ද ඒ මාළු වැළ මිල දී ගතිමි.
470. මසුන්ට කෑම දී මට පින් අනුමෝදන් කෙළේ ය. තා අනුමෝදන් කළ ඒ පින සිහි කරන මා විසින් තොපගේ ධනය රක්නා ලදී.
471. දුෂ්ටසිත් ඇතියාට දෙලෝ දියුණුව සිදු නො වේ. අධර්‍මකර්‍ම කරන්නෙක් පියා සතු වස්තුව සොහොයුරාට වඤ්චා කෙළේ ද දෙවියෝ ඔහු නො පුදත්.
8. මච්ඡුද්දාන ජාතක යි.
472. මහරජ, වෙන වෙන රිසි ඇති අපි එකගෙයි වසම්හ. මම ගම්වරයක් කැමැත්තෙමි. බැමිණි ගවයන් සියයක් කැමැත්තී ය.
473. ඡත්ත මාණවක ආජානේය අසුන් යෙදූ රියක් ද, ලේලි මිණිකොඬොලක් ද, පුණ්ණිකා නම් මිඩි තොමෝ කුලුමොහොල් සහිත වනක් ද කැමැති ය.
474. බමුණාට ගම්වරයක් ද බැමිණියට ගවයන් සියයක් ද ඡත්‍ර නම් බ්‍රාහ්මණපුත්‍රයාහට ආජානේය අසුන් යෙදූ රියක් ද ලේලියට මිණිකොඬොලක් ද හීන වූ මේ පූර්ණිකා දාසියට වනක් මොහොලක් ද පිළියෙළ කොට දෙවු.
9. නානාච්ඡන්‍ද ජාතක යි.
475. ආචාර සීලය ම හොබනේ ල, සීලය ලෝකයේ අනුත්තර ය, බලව දරුණු විෂ ඇති නයා පවා සිල්වතැ යි හිංසා කරනු නො ලැබේ.
476. සිල්වතා යම් සීලයක් නිසා ආර්‍ය පැවැතුම් ඇත්තේ ය යි කියනු ලැබේ ද, ලොවැ නිර්‍භය තත්ත්‍වයෙකැ යි දන්නා ලද ද එබඳු සීලය මම සමාදන් වෙමි.
477. සිල්වතා නෑයන්ට ප්‍රිය වෙයි. මිතුරන් අතරේ ද බබළයි. මරණින් මතු දෙව්ලොවැ උපදී.
10. සීලවිමංස ජාතක යි.
සතරවැනි අබ්භන්තර වර්‍ග යි.
එහි උද්දානය:
(දුම) අබ්භන්තර ජාතක යැ, උතුම් වූ සෙය්‍යංස ජාතක යැ, ව්‍යඝ්‍රයා නැසූ වඩ්ඨකීසූකර ජාතක යැ, (මණි) සිරි ජාතක යැ, මණිසූකර ජාතක යැ, සාලුක ජාතක යැ, (අනුසාසනි) ලාභගරහ ජාතක යැ, මච්ඡුද්දාන ජාතක යැ, (මණිකුණ්ඩල) නානාච්ඡන්‍ද ජාතක යැ (කිරෙන) සීලං කිර යනාදි වූ සීලවිමංස ජාතක යැ යන මෙයින් දසය වේ.