391. ඉදින් අත්තල මොළොක් වී නම්, හස්තියා සුසික්‍ෂිත වී නම්, රැය අඳුරු වී නම් වැසි ද වස්නේ වී නම් අපගේ අදහස එකැතින් සඵල වන්නේ යි.
392. පුරුෂයන්ගෙන් තෘප්ත නො වන්නා වූ මෘදු සම්භාෂණ ඇති පුරවන්නට බැරි ගඟක් සමාන වූ ස්ත්‍රීහු තමාට වසඟයන් අපායේ ගිල්ලති. මෙය දැන ඇය දුරින් දුරු කරන්න.
393. තෙල ස්ත්‍රීහු රුචියෙන් වේවයි ධන හේතුයෙන් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද තමා සිටි තැන දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවති.
2. මුදුපාණි ජාතක යි.
394. අභිද්‍යමාන උදකයෙහි තෙමේ ඍද්ධිබලයෙන් අවුත් ස්ත්‍රිය හා මිශ්‍රභාවයට ගොස් මහසයුරේ ගිලෙහි.
395. මේ ඉතිරියෝ කාමයෙන් (පුරුෂයන්) පොළොඹවන්නෝය. මහාමායා ඇත්තෝය. බඹසර නම් වූ උතුම් හැසිරීම නසා පුරුෂයන් අපායේ ගිල්වත්. මෙය දැන ඇය දුරින් ම දුරු කරන්නේ යැ.
396. තෙල ස්ත්‍රීහු කැමැත්තෙන් වේවයි ධන හේතුවින් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද, තමා සිටි තැනැ දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවත්.
3. චුල්ලපලෝහන ජාතක යි.
397. යම් රජක්හුගේ ස්වර්‍ණමය වූ ප්‍රාසාදය සරසින් සොළොස් හීසනක් පමණ වේ ද, උසින් දහස් හීසනක් පමණ වේ යයි කීහු ද එ රජ පණාද නම.
398. උසින් දහස්කඩ පමණ වූ ඒ මාලිගාව සියක් මහල් ඇත්තේ යැ ධ්වජ බහුල වූයේ යැ. නිල්මැණිකින් සදනලද්දේ යැ. එහි සදහසක් නළුවෝ සප්තප්‍රකාර වැ නැටූහ.
399. භද්දජී යම් සේ කියා නම් එකල්හි තෙලපහය මෙසේ වී. එකල්හි තොපට (විස්කම් ලවා මාලිගාව කරවූ) වතාවත්කරු සක්දෙව් රජ මම වීමි.
4. මහාපණාද ජාතක යි.
400. චාප (දුනු) වේගයෙන්, හරනා ලද මහහීතල ද තෙල් සණලා මුවහත් කළ කඩු ද දැක මරණය එළැඹ සිටි ඒ හයෙහි තොපට කුමක් හෙයින් තැතිගැන්මෙක් නො වී ද.
401. චාපවේගයෙන් හරනාලද, ඊතල ද, තෙල්සණ ලා මුවහත් කළ කඩු ද දැක මරණය සමීප වැ සිටි ඒ හයෙහි උදාර වූ මහත් සතුටක් ලදිමි.
402. ප්‍රීත වූ ඒ මම සතුරන් මැඩීමි. පළමු මාගේ ජීවිතය හරනාලද. ජීවිතයෙහි ආලය කරන ශූර තෙම කිසි කලෙක ශූරක්‍රියා නො කරන්නේ යි.
5. ඛුරප්ප ජාතක යි.
403. යම් කරුණෙකින් කෘශ වැ පඬුවන් වී ද, යම් (ප්‍රේම) කරුණෙකින් ආහාර අරුචි වී ද, තී පතන ඒ ප්‍රියයා ආයේ යැ. දැන් කුමට පලායෙහි ද?
404. පළමු මැ සංසර්‍ග මිත්‍රත්‍වය නො හටගනී. යම් හෙයෙකින් ස්ත්‍රීන්ගේ ගර්‍ව සඞ්ඛ්‍යාත යසස පිරිහේ ද, එහෙයින් දරුව, පලායෙමි.
405. යම් ස්ත්‍රියක් තමා සමීපයට ආ ප්‍රශස්ත කුලයෙහි උපන් පුරුෂයා නො කැමති වේ ද, ඕ තොමෝ “වාතග්ග” නම් අසු නො කැමැති වූ ‘කුන්‍දලී’ නම් කොටළුදෙන මෙන් දිගුකලක් ශෝක කරන්නී යැ.
6. වාතග්ගසින්‍ධව ජාතක යි.
406. දිග ඇස් ඇති ඈට මැ හම ඇති දියෙහි වෙසෙන ලෝම රහිත වූ “සිංගිමිග” නම් කකුළුවෙක, ඔහු විසින් මඩනා ලද්දෙම් අසරණ වැ හඬමි. ප්‍රාණ සම වූ මා නො හැරපියව.
407. සැටවිය ඉක්ම ථාමහීන වූ කුඤ්ඡර ස්වාමීනි, විපතට පත් තොප නො හරින්නෙමි. සතර දිග පැතිරැගිය මුහුද අවසන් කොට සිටි මහපොළොවටත් වඩා තොප මට ප්‍රිය යැ.
408. මුහුදෙහි ද ගඞ්ගානදියෙහි ද නර්‍මදා නදියෙහි ද යම් කකුළු කෙනෙක් ඇද්ද, ඒ හැමට වඩා ජලයෙහි උපන් තෙපි රූසපුයෙන් හා මහත්ත්‍වයෙන් ශ්‍රේෂ්ඨ වූවහු යැ. හඬන්නා වූ මාගේ සැමියා මුදව.
7. කක්කටක ජාතක යි.