376. මේ විලිමුවා නිවාස තනන්නට දක්‍ෂයකු නොවේ. මෙතෙම කළ කළ දේවල් දූෂණය කිරීමේ ලෝලයෙකි. මේ වඳුරු කුලය නම් (කළ දෙය දූෂණය කිරීම වැනසීම යන) මෙබඳු ස්වභාව ඇත්තේය.
377. විමර්‍ශන ඥානයෙන් යුක්තයකුට මෙබඳු රළුලොම් නැත. මේ මෙරමා අස්වසන්නා වූ මෘගයකු නොවේ. මොහු කිසිත් නො දනීය යි ජනසන්‍ධ රජතුමා විසින් මට අනුසාසනා කරන ලදී. හෙවත් කියන ලදී.
378. එබඳු වඳුරු ජාතික සත්ත්‍ව තෙමේ මව, පියා, සහෝදරයා, සහෝදරිය හෝ යහළුවකු පෝෂණය නො කරන්නේය යි දශරථ රජු විසින් මට මේ ශාස්ත්‍රය කියන ලදී.
7. ගාමණීචණ්ඩ ජාතක යි.
379. සඳහිරු දෙදෙනා යම් පමණ තැන් මෙර පැදැකුණු කෙරෙද්ද යම් පමණ දිසා බබුළුවත් ද, යම් පමණ බබළන ස්වභාවය ඇත්තාහු ද ඒතාක් තන්හි පොළොව ඇසුරු කොට වෙසෙන යම් පමණ මනුෂ්‍ය ප්‍රාණීහු වෙත් ද ඔහු හැම දෙනා මන්‍ධාතු රජුගේ දාසයෝ යැ.
380. කහවණු වැස්සෙන් පවා කාමයෙහි තෘප්තියක් නො පෙනේ. කාමයෝ අල්ප ආස්වාද ඇත්තාහ යි ද, දුකට හේතු වන්නාහයි ද මෙසේ පණ්ඩිත තෙම දැනැ.
381. හේ (පණ්ඩිතයා) දිව්‍ය වූ කාමසම්පතෙහි දු ඇල්මට නො පැමිණේ. සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නිවනෙහි ඇලුණේ වෙයි.
8. මන්‍ධාතු ජාතක යි.
382. විද්‍යාවෙන් නිපද වූ කිසිවක් මේ තාපසයාට නැත. තොපගේ නෑයෙක් හෝ යහළුවෙක් හෝ නොවේ. ත්‍රිදණ්ඩයක් ඇති තිරීටවච්ඡ නම් වූ මෙතෙම කවර කරුණක් නිසා බොහෝ රසැති අග්‍රභෝජනය වළඳන්නේ ද.
383. සටනින් පරදවන ලද්දේ ජලය රහිත බියකරු වනයෙහි හුදෙකලාව විපතට පත් මට ආපදායෙහි ළිඳෙන් ගොඩ එන්නට අත දිගු කෙළේය. ඒ උපකාරය නිසා දුකින් පෙළුණු මම ගොඩ ආවෙමි.
384. මේ තාපසයාගේ උපකාරයෙන් මෙහි පැමිණියෙමි. පරලොවෙන් මිදී මෙලොව වසමි. දරුව, තිරීටවච්ඡ තවුසා ලාබ (සිවුපසය) ලබන්නට නිස්සෙකි. පරිභෝග කටයුතු දේ ද, යාග කිරීමට ගන්නා යාගද්‍රව්‍ය ද දෙවු.
9. තිරීටවච්ඡ ජාතක යි.
385. යමක්හු සඳහා සතුරාගෙන් වුව ද යමක් ඉල්ලා ගන්නට දුරස්ථානයකට වුව යෙත් ද, මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
386. සත්ත්‍වයෝ රෑ දාවල්හි යම් උදරයක්හුගේ වසඟයට යෙත් ද මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
387. බමුණ, වෘෂභ රාජයකු සහිතව රතු පැහැති ගවයන් දහසක් තොපට දෙමි. දූතයෙක් දූතයකුට කෙසේ නො දෙන්නේ ද? අපි දු ඔහුගේ ම (උදරයාගේ) දූතයෝ වෙමු.
10. දූත ජාතක යි.
පළමුවන සංකප්ප වර්‍ග යි.
එහි උද්දානය:
උසිකාරය පවසන සංකප්ප ජාතක යැ, තිලමුට්ඨි ජාතක යැ (මණි) කණ්ඨ ජාතක යැ, අස්රජකු ඇති කුණ්ඩකකුච්ඡිසින්‍ධව ජාතක යැ, (විහඞ්ගම) සුක ජාතක යැ, ආශීවිෂයකු ඇති ජරූදපාන ජාතක යැ, ජනසන්‍ධ රජු ඇති ගාමණීචණ්ඩ ජාතක යැ, යළි කහවණු වැසි සඳහන් මන්‍ධාතු ජාතක යැ, තිරීටවච්ඡ ජාතක යැ, යළි දූත ජාතකයෙන් දසය වේ.