5855. යමෙක් අත් පා වලින් ගසයි ද, මුහුණටත් අනියි ද, මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රියයෙක් ද වෙයි. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
5856. යමකුට රිසිසේ අක්‍රෝශ කරයි ද, (එහෙත් ආක්‍රෝශ වශයෙන් කියූ) ඒ කාරණයාගේ ඊම නො කැමැති වෙයි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේ ය. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
5857. යමෙක් මුසායෙන් ගටා බෙණෙයි ද බොරුයෙන් චෝදනා කෙරෙයි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේ ය. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
5858. ඇතැමෙක් ආහාරපාන හා වස්ත්‍ර ශයනාසනයන් ද රැගෙන යත්. එහෙත් එසේ ගෙන යන්නා වූ ඔව්හු ඒකාන්තයෙන් ප්‍රිය වෙත්. මහරජ, ඒ කවරුන් ලෙස දක්නෙහි ද?
දේවතා පුච්ඡිත ප්‍රශ්නයෝ යි.
5859. මෙහි පැමිණි පඤ්ච පණ්ඩිතවරුනි, මට වැටැහෙන එක් ප්‍රශ්නයෙක් ඇත. එය අසවු. නින්‍දා කටයුතු වූ හෝ ප්‍රශංසා කටයුතු වූ හෝ රහස කවරකුට හෙළි කළ යුත්තේදැ යි වේදේහ රජ පිළිවිසී.
5860. මහරජ, ඔබ මැ අපට එය ප්‍රකාශ කරනු මැනව. ඔබ අපගේ ස්වාමියා ද, බර උසුලන්නා ද වෙති. පඬිවරු පස්දෙන ඔබගේ අදහස හා කැමැත්ත විමසා පිළිතුරු කියන්නාහයි සේනක කීය.
5861. (වේදේහ රජ) යම් ස්ත්‍රියක් ආචාර ශීලයෙන් යුක්ත ද අනුන් වසඟයෙහි නො පවතී ද ස්වාමියාගේ කැමැත්ත අනුව වසන්නේ ද, ප්‍රිය මනාප වන්නී ද එබඳු බිරිඳට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස කියැ යුත්තේ ය.
5862. (සේනක) යමෙක් දුකට පත් ආතුරයාට සරණ වැ පිහිට වැ උපකාරී වැ පවතී ද එ බඳු මිත්‍රයාට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5863. (පුක්කුස) ඉදින් යමකුට ජ්‍යේෂ්ඨ හෝ මධ්‍යම හෝ කණිෂ්ඨ හෝ සොහොයුරෙක් වේ ද හෙ ද ශීලයෙහි මනා වැ පිහිටියේ ස්ථිර සිතැත්තේ නම් එවැනි සොහොවුරාට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5864. (කාවින්‍ද) ඉදින් යමෙක් පියා ගේ සිතට අනුව ක්‍රියා කරන්නේ ද මහත් ප්‍රඥායෙන් යුක්ත වූයේ පියාට අනුජාත වේ ද එ බඳු පුතුට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5865. (දේවින්‍ද) දෙපා ඇත්තනට නායක මහරජ, යම් මවක් ස්නේහයෙන්, ප්‍රිය උපදවමින් සිය පුතු පෝෂණය කරන්නී ද එ බඳු මවට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5866. (මහෞෂධ) සැඟැවියැ යුතු දේ සැඟැවීම මැ යහපත් වන්නේ ය. රහස හෙළි කිරීම පැසසිය යුතු නොවේ. නුවණැත්තේ කාර්‍ය්‍ය සිද්ධිය නොවී නම් (කාර්‍ය්‍ය සිද්ධිය තෙක්) රහස දරන්නේ ය. සිද්ධ වූ අර්‍ත්‍ථ ඇත්තේ රිසි සේ කියන්නේ ය.
5867. මහරජ ඔබේ සිත් පෙරැළියට හේතු කවරේ ද? කවර හෙයින් ඔබෙන් වචනයක් නො අසම් ද? කුමක් සිතමින් දොම්නස් වූයෙහි ද? දේවයිනි, මාගෙන් වූ යම් අපරාධයෙක් හෝ ඇත් දැයි උඳුම්බරාදේවි විචාළාය.