8. විධුර ජාතකය
5476. (වරුණ නා රජ) සත්පුරුෂ වූ යමෙක් කිපියයුත්තහු කෙරෙහි නො කිපේ ද කිසිකලෙකත් කෝප නො කරන්නේ ද යමෙක් කිපියේ නමුදු කෝපය පහළ නො කෙරේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්යා ශ්රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
5477. (ගුරුළු රජ) මඳ අහර ඇති යමෙක් සාගිනි ඉවසා ද, ඉන්ද්රිය දමනයෙන් හා තවුස් ගුණෙන් යුතුවූයේ පමණ දැන ආහාර පාන වළඳා ද, සාගින්න හේතුකොට පාපක්රියා නො කෙරේ ද ඒ මිනිසා ඒකාන්තයෙන් ශ්රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
5478. (සක්දෙවු රජ) යමෙක් කායික වාචසික ක්රීඩා ද දිව්ය කාමසුඛයෙහි ඇල්ම ද හැරපියා ස්වල්ප වූ හෝ බොරු නො කියා කාය මණ්ඩනයෙන් හා මෛථුනයෙන් වැළකුණේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්යයා ශ්රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
5479. (ධනඤ්ජය රජ) තමන් සන්තක ලෝභ කටයුතු සියලු වස්තූන් හැරදමා ඉන්ද්රිය දමනයෙන් යුක්තව සිත එකඟ කොටැ ගත් මමත්වය නැති කර ගත් ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්රමණයෙකැ යි ලෙව්හි පඬිවරු කියති.
5480. අලාමක නුවණැති, කළමනා දෙය කරන (තොප) විචාරමි. අප කී ගාථාවන් නිසා උපන් විවාදයෙක් ඇත. අපේ සැකය දැන් පසිඳුව. තොප නිසා අද (අපි) සියල්ලෝ සැක රහිත වෙමු. (සිවුදෙනම විධුර පණ්ඩිතයන් පුළුවුත්හ.)
5481. (කී දෙයෙහි) අරුත් දක්නට සමත් යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද ඔහු ඒ විවාදය නුවණින් විමසා යථා කාලයෙහි පවසති. රජතුමනි, නො කී ගාථාවන්ගේ අර්ත්ථය දක්ෂතා ඇත්තෝ වුවත් කෙසේ පමුණුවත් ද? (ඉදිරිපත් කෙරෙත් ද?)
5482. නාගරාජයා කෙසේ කියා ද? වෙනතෙය්ය නමැති ගුරුළා කෙසේ කියා ද? ශක්රයා කුමක් කියා ද? කුරුරට වාසීන්ගේ ධනඤ්ජය රජ කෙසේ කියා දැයි (විධුර පණ්ඩිත ඔවුන් විචාළේය.)
5483. ඒකාන්තයෙන් ඉවසීම උතුම්ය යි නාගරාජයා කිය යි. වෙනතෙය්ය නමැති ගුරුළා ස්වල්ප ආහාරය (ගැනීම) උතුම්ය යි කිය යි. පස්කම් සැපතෙහි ආශාව දුරු කිරීම උතුම්ය යි ශක්රයා කිය යි. කුරුරට වැස්සන්ගේ රජතෙම පළිබෝධ රහිත බව උතුම්ය යි කිය යි.
5484. (විධුර පණ්ඩිත) මේ සියල්ල සුභාෂිත යැ. දුබැසි කිසිත් මෙහි නැති. චක්රනාභියෙහි අර ලෙසින් මේ ගුණදම් යමකු කෙරෙහි පිහිටා තිබේ ද, ඉවසීම ආදි (මේ) ගුණදම් සතරින් හෙබි පුද්ගලයා ඒකාන්තයෙන් ශ්රමණය යි ලොවැ (පඬිවරු) කියතියි කීය.
5485. ඔබ ශ්රේෂ්ඨ වෙති, ඔබට වඩා උත්තමයෙක් නැති හෙයින් අනුත්තර වෙති. ඔබ ධර්මය රක්නාහ, ධර්මය දන්නාහ, මහා ප්රාඥය හ. සියනැණින් අපගේ පැනය මැනැවින් වටහා ගෙන අපගේ සැක පසිඳලූහ. ඇත්දළ කැටයම්, කරු කියතෙන් ඇත්දළය යම්සේ කපා ද එසේ අපේ සැක, විමති සිඳ දැමූහ.
5486. ප්රාඥය, නිලුපුල් පැහැයට සමාන වූ පවිත්ර වූ මහඟු වූ ධූමවර්ණ වූ මේ වස්ත්රය, ඔබගේ පැන විසඳුමෙන් තුටුපත් මම් ධර්මපූජා පිණිස ඔබට දෙමි.
5487. ප්රාඥය, විකශිත පද්මයක් වැනි කෙසුරු සහිත රත්න සහස්රයකින් යුක්ත වූ රන් මාලය දහම් පඬුරු විසින් පැන විසඳුමෙන් තුටුපත් මම ඔබට දෙමි.
5488. ප්රාඥය, මාගේ ගෙළැ පැළැඳි පැහැ විහිදෙන මනහර මේ මිණි දහම් පඬුරු වශයෙන්, මම පැන විසඳුමෙන් තුටුපත් වූයෙම් ඔබට දෙමි.
5489. පැන විසඳුමෙන් තුටුපත් මම දෙනුන් දහසක් ද වෘෂභයකු ද ඇතකු ද ආජානීය අශ්වයන් යෙදූ මේ රිය දසය ද ගම්වර සොළොසක් ද ඔබට දෙමි.
5490. (නාරජ) විමලාවෙනි, තිගේ සිරුර පඬුවන් ය, කෘශ ය, දුබල ය, පෙර තිබූ රූසිරි (දැන්) නැත. තිට කවර ශරීර වේදනාවක් පවතී දැ යි මට කියව.
5491. මිනිසුන් අතරේ (වෙසෙන) ස්ත්රීන්ට දොළ දුක් ඉපැදීම ස්වභාවයෙකි. නාරජතුමනි, දැහැමින් (බලාත්කාරයෙන් තොරව) ගෙනා විධුරපඬිතුමාගේ හදවත පතමියි (ඕ කීවාය.)