5084. මහරජ, ධතරට්ඨ නමැති රජහුගේ මාලිගාවෙහි යම්කිසි රත්නයක් ඇද්ද ඒ සියලු රත්නයෝ ඔබගේ මාලිගාවට පැමිණෙත්වා, අප රජුට සමුද්දජා නමැති ඔබගේ දූකුමරිය දීම මැනැවැ’යි නාගයෝ පැවැසූහ.
5085. එම්බා නාගයිනි, කවර කලෙක්හි වත් නයින් සමග අපගේ විවාහයක් සිදු නො වූ විරූ ය. තිරිසනුන් සමඟ එක්වීම් ඇති ඒ විවාහය නුසුදුසු ය. මනුෂ්ය වන අපි එය කෙසේ සිදු කරමු දැ යි බරණැස් රජ තෙමේ පැවැසී ය.
5086. මහරජ, ඔබ ජීවිතය ද රට ද හැරැදමණලදැ යි සිතම්, නයින් කිපුණු කලැ ඔබ වැන්නෝ බොහෝ කල් ජීවත් නො වෙති.
5087. මහරජ, මිනිසුන් අතරෙහි ඍද්ධි නැති යම් බඳු ඔබ ඍද්ධි ඇති යමුනා ගඟෙහි යට භාගයෙහි උපන් වරුණ නමැති නාරජුගේ ස්වකීය පුත් ධතරට්ඨ නාරජු ඉක්මවා සිතන්නාහ යි කීය.
5088. යස පිරිවර ඇති ධතරට්ඨ නමැති නාරජු ඉක්මවා නො සිතමි. ධතරට්ඨ නම් නා රජ තෙමේ වනාහි බොහෝ නයින් හට අධිපති වෙයි.
5089. නාරජ තෙමේ මහත් අනුභාව ඇත්තේ නමුදු මාගේ දුවට නුසුදුසු ය. ක්ෂත්රිය වූ සමුද්දජා නමැති මාගේ දුව විශිෂ්ට වූ ජාති ඇත්තී යැ යි බරණැස් රජ තෙමේ පැවැසී ය.
5090. කම්බලස්සතර නමැති (මවු පසෙහි වූ) නාගයෝ නැගී සිටිත්වා, සියලු නාගයන්ට වහා රැස්වන්නට දන්වවු. සියලු නාගයෝ බරණැස් නුවරට පැමිණෙත්වා, තොප ගෙන් කිසි කෙනෙක් කිසිවකුට හිංසා නො කෙරෙත්වා.
5091. ගෙවල්, පොකුණු, වීථි, සන්ධි, ගස්මුදුන්, දොරටු සහ තොරණ යන මේ තන්හි පැතිරැ එල්බෙත් වා.
5092. මමත් සව්සුදු වූ මහසිරුරකින් යුත් වැ ගොස් කසීරට වැසියනට මහත් බිය උපදවමින් මහනගරය දරණවැලින් වට කරන්නෙමි යි නාරජ තෙමේ කී ය.
5093. එ බස් අසා නන් වන් පැහැති නාගයෝ බරණැස් නුවරට වැදුනාහ. කිසිවකුහට ද හිංසා නො කළාහු ය.
5094. ගෙවල්, පොකුණු, මං සන්ධි, ගස්මුදුන්, දොරටු සහ තොරණ යන තනුහි පැතිරැ එල්බුණාහ.
5095. පෙණය කොට වරින් වර පිඹින එල්බෙන නාගයන් දැක්මෙන් බොහෝ ස්ත්රීහු හැඬූහ.
5096. බරණැස අතිශයින් පෙළිණ. පීඩාවට පත් ඔව්හු රජු වෙත පැමිණියහ. රජුගේ දූ කුමරිය නාරජුහට දෙව යි ඉස අත් බැඳ ඇඬූහ.
නගර කාණ්ඩය යි.
5097. පුද පිණිස ගෙනෙන ලද මලින් යුතු මෙ වන මැදැ රතැ’ස් ඇති පිරුණු උරහිස් අතර ඇති ඔබ කවරහු ද, ස්වර්ණමය ගෙල පළඳනා හා වළලු ඇති මනා වූ ඇඳුමින් යුත් කවර නම් ස්ත්රීහු දස දෙනෙක් වඳිමින් සිටිත් ද?
5098. මහත් වූ අත් ඇති ගිතෙල් ඉසිණු ගින්නක් මෙන් වන මැද බැබැළෙන ඔබ කවර නම් කෙනෙක් ද? මහත් අනුභාව ඇති යකෙක් ද? නොහොත් අනුභාව සම්පන්න නාගයෙක් දැ යි බමුණා ඇසී ය.
5099. මම ඍද්ධි ඇති විෂ ඇති තේජස් ඇති අනුන් විසින් මැඩ පැවැත්විය නො හැකි නාගයෙක්මි. ඉදින් මම කිපියෙම් නම් විෂ තේජසින් මුළු ජනපදය ද දෂ්ට කොට දවා ලන්නෙමි.
5100. සමුද්දජා නම් බිසොව මාගේ මවු තොමෝ ය. ධතරට්ඨ නම් නාරජ මාගේ පිය තෙමේ ය. මම වනාහි සුදස්සන නම් නාරජු ගේ මල් වෙමි. මා භූරිදත්ත යැ යි නාගභවනයෙහි දනිති යි නා රජ කී ය.
5101. හැම කල් පැවැති ගැඹුරු දියසුළි ඇති බිහිසුණු යම් විලක් දක්නෙහි ද? නොයෙක් සිය ගණන් පුරුෂ ප්රමාණ ඇති ඒ විල වනාහි මාගේ දිව්යමය වූ වාසස්ථානය යි.
5102. දෙ ඉවුරු වන පෙතැ වෙසෙන මොණරුන් විසින් ද කොස්වා ලිහිණියන් විසින් ද පැවැත්වෙන නද ඇති නිල්වන් ජලය ඇති ආචාර සම්පන්නයන් වාසය කරන ක්ෂේමභූමි වූ මේ යමුනා ගඟට භය නැති වැ පිවිසෙව යි නාරජ කී ය.
5103. අනුචරයන් හා එහි පැමිණි පුතු සහිත බමුණාට පිදුයේ බ්රාහ්මණය, මා සතු කම්සැපතින් සුවසේ වසන්නැ යි නාරජ කී ය.
5104. පින්වත් නාරජ, ඔබගේ භවන පිළිබඳ මේ පොළොව සියලු දිසා සමතලා ය. තුවරලා බොහෝ ඇති රන්වන් ඉඳු ගොව්වන් ගෙන් ගැවැසීගත් නිල්වන් කුසතනින් බැබැළෙයි.