5. මහාසුතසෝම ජාතකය
4196. එම්බා අරක්කැමිය, තෝ කුමක් හෙයින් මෙතරම් ඉතා දරුණුකම් කරන්නෙහි ද? මුළා වූයේ ස්ත්රීන් ද පුරුෂයන් ද නසන්නෙහි. මස් හේතු කොටගෙන ද නැතහොත් ධන හේතුකොටගෙන දැ යි (සෙන්පතියා ඇසී ය).
4197. හිමියෙනි, මෙය තමන් හේතු කොටගෙන නො වෙයි. ධනය හේතු කොටගෙන ද නො වෙයි. අඹුදරුවන් ද යහළුවන් ද ඤාතීන් ද හේතු කොටගෙන නො වෙයි. මාගේ ස්වාමි වූ ඒ භගවත් රජ තෙමේ මෙබඳු වූ මස අනුභව කෙරේ යයි (අරක්කැමි තෙමේ කීයේ ය.)
4198. ඉදින් ස්වාමියාගේ වැඩෙහි යෙදුණා වූ තෝ මෙබඳු ඉතා දරුණුකම් කෙරෙහි නම් උදෑසන ම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි ඒ කරුණ මට කියව (යි සෙන්පති තෙමේ කීවේ ය.)
4199. ස්වාමීනි, කාළහත්ථි නම් සෙන්පතිතුමනි, ඔබ වහන්සේ යමක් කියන්නහු නම් මම එසේ ම කරන්නෙමි. උදෑසන ම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි එය ඔබට කියමි (යි අරක්කැමි තෙමේ කීවේ ය.)
4200. අනතුරු ව රාත්රිය ඉක්ම ගිය පසු සූර්ය්යොද්ගමයෙහි කාළ නම් සෙන්පති තෙමේ අරක්කැමියා ගෙන රජු වෙත එළැඹියේ ය. එළැඹ රජුට මේ වචනය කීවේ ය.
4201. මහරජ, නුඹ වහන්සේ විසින් ස්ත්රී පුරුෂයන් නසව යි අරක්කැමියා පිටත්කොට හරිනලද්දේ ය යන මේ කරුණ සත්යය ද? ඔබ වහන්සේ මිනීමස් කන්නහු ද?
4202. කාළ (හත්ථි) නම් සෙන්පතිය, මා විසින් අරක්කැමියා පිටත්කොට හරිනලදී. මාගේ අර්ත්ථය (වැඩය) කරන්නා වූ ඔහුට කුමක් හෙයින් නින්දා කෙරෙහි දැ (යි රජතෙමේ ඇසී ය.)
4203. සියලු මත්ස්යයන්ට ප්රධාන වූ රසගේධ වූ ආනන්ද නම් මත්ස්ය තෙමේ තමන්ගේ පිරිස අනුභව කොට අවසන් වූ කල්හි පසුව තමා ද අනුභව කොට මළේ ය.
4204. මෙසේ ප්රමත්ත වූ රසගෙධයෙහි නියැලි අනුවණ තෙමේ ඉදින් මත්තෙහි වන්නා වූ දුක නො දනී නම් හෙතෙමේ දරුවන් නසා නෑයන් ද හැර දමා පෙරළා තමන් ම අනුභව කෙරේ.
4205. මහරජ, මේ කරුණ අසා ඔබගේ ඒ කැමැත්ත දුරු කෙරේවා. රජතුමනි, මිනීමස් අනුභව නො කරව. මහරජ, ආනන්ද නම් මත්ස්යයා මෙන් මේ මුළුරට සුන් නො කරව (යි සෙන්පති තෙමේ කීවේය.)
4206. එම්බා කාළහත්ථිය, පෙරැ නමින් සුජාත නම් කෙළෙඹියෙක් විය. ඔහුගේ ඹෟරස පුත්රයෙක් විය. හෙතෙම දඹපල කාලය වූ කල්හි ද දඹපල නො ලැබ මළේ ය.
4207. කාළය, එපරිද්දෙන් මම ද උතුම් රස ඇති කෑම අනුභව කොට (ඒ උතුම් රසැති) මිනීමස් නොලැබ ජීවිතය හරින්නෙමි යි සිතමි (යී රජතෙමේ කීයේය.)
4208. මාණවකය, තෝ මනා රූ ඇත්තෙහිය. සොත්ථිය නම් උතුම් කුලයෙහි උපන්නෙහි ය. පුත්රය, නුඹ අනුභව නො කටයුක්තක් අනුභව කරන්නට නුසුදුස්සෙහි ය.
4209. පියාණෙනි, නුඹ වහන්සේ යම් බඳු රසයකින් මා වළකනසේක් නම් එය රස අතුරින් උතුම් රසයෙකි. ඒ මම යම් තැනෙක්හි මෙබඳු රසයක් ලබන්නෙම් නම් එහි යමි.
4210. පිතෘ බ්රාහ්මණය, යම්බඳු වූ මාගේ දැකීමෙන් නුඹ වහන්සේ සතුටු නො වන සේක් නම් ඒ මම නුඹවහන්සේ සමීපයෙහි නො වසමි. මම ම නික්ම යන්නෙමි යි මාණවකයා කීවේ ය.
4211. මාණවකය, අන්ය වූ ද පුත්ර දායාදයන් ලබන්නෙමි. නීචය, තෝ ද වැනසෙව, යම් තැනකට පැමිණි තා නො අසන්නෙම් ද (එසේ කරව.)
4212. නරශ්රේෂ්ඨ මහරජ, මගේ වචනය අසනු මැනවි. රා සොඬ තරුණයා යම්සේ රටින් පිටුවහල් කරනලද්දේ ද එසේ ම නුඹවහන්සේ ද රටින් පිටුවහල් කරන්නාහ (යි සේනාපතියා කීවේ ය.)
4213. භාවිතාත්ම ඇති ඍෂීන්ගේ ශ්රාවක වූ නමින් සුජාත නම් වූ තැනැත්තා දිව්යාප්සරාවන් කැමැත්තේ ම නො කෑවේ ය. නො බිව්වේ ය.
4214. යම්සේ කුසතණ අග දිය ගෙන මුහුදු දිය මනින්නේ ද දිව්යකාමයන් හමුවෙහි මානුසක කාමයෝ ද එමෙනි.
4215. කාළහත්ථිය, රසෝත්තම වූ කෑම කා ඒ මිනීමස් නො ලැබ ජීවිතය හරින්නෙමි යි සිතම් යයි කීයේ ය.
4216. අහසින් ගමන්කරන්නා වූ ධතරට්ඨ නම් හංසයෝ නුසුදුසු පරිභෝගයෙන් සියල්ලෝ ම යම්සේ විනාශයට පත්වූහු ද,