2. සෝණනන්‍ද ජාතකය
3733. නුඹ දෙවියෙක් වෙහි ද, ගන්‍ධර්‍වයෙක් හෝ වෙහි ද, නැතහොත් පුරින්‍දද නම් ශක්‍රයා වෙහි ද, මනුෂ්‍ය වූ ඍද්ධි ඇත්තෙක් වෙහි ද, අපි ඒ කරුණ කෙසේ දනුමෝ ද?
3734. රජතුමනි, මම දෙවියෙක් නො වෙමි. ගන්‍ධර්‍වයෙක් ද නො වෙමි. පුරින්‍දද නම් ශක්‍රයා ද නො වෙමි. මනුෂ්‍ය වූ ඍද්ධි ඇත්තෙක් වෙමි. ඒ කරුණ මෙ සේ දනුව.
3735. පින්වතා විසින් මහත් කායවෙය්‍යාවතික කර්‍මය කරන ලදී. එ නම් පින්වත් තෙමේ වැසි වස්නා කල්හි නැවැත්වීම කෙළේ ය.
3736. තව ද පින්වත් තෙමේ දරුණු වූ සුළඟ හා අව්ව ඇති කල්හි සිසිල්සෙවණ කෙළේ ය. නැවැත පින්වත් තෙමේ සතුරන් මධ්‍යයෙහි ඊ පහරින් වැළකීම ද කෙළේ ය.
3737. තව ද, පින්වතා සමෘද්ධ රටවල වැසියන් අපට වසඟ කෙළේ ය. තව ද එක් සියයක් රජුන් අප අනුගාමිකයන් කෙළේ ය.
3738. අපි පින්වතාට සතුටු වූවමෝ වෙමු. පින්වතා යම් රත්නයක් කැමැත්තේ නම් එය ඉල්ලාගනු මැනැවි. ඇත්යානා ද, අස් රිය ද, අලංකාරයෙන් සැරැසූ ස්ත්‍රීන් ද සිත්කලු ගෙවල් ද යන මේවා අපි පින්වතාට දෙම්හ.
3739. නොහොත් අඟුරටෙහි රජය හෝ මගධ රටෙහි රජය හෝ අපි පින්වතාට දෙම්හ. තව ද අස්සක නම් රට හෝ අවන්ති නම් රට හෝ අපි තුටුසිත් ඇති ව පින්වතාට දෙම්හ.
3740. අපි පින්වතාට රජයෙන් අඩක් හෝ දෙම්හ. ඉදින් මුළු දඹදිව රජයෙන් ප්‍රයෝජන වේ නම් එය ද දෙම්හ. යමක් කැමැති නම් එය අණ කරව’ යි (මනෝජ රජ කියා සිටියේ ය.)
3741. මහරජ, මට රජයෙන් හෝ නගරයෙන් හෝ ධනයෙන් හෝ ප්‍රයෝජනයෙක් නැත. වැළි ජනපදයෙන් ද මට· ප්‍රයෝජනයෙක් නො වේ.
3742. මහරජ, පින්වත්හු ගේ රජයෙහි ආඥාචක්‍රය පවත්නා දේශය තුළ හිමාලය වනයෙහි ආශ්‍රමයක් ඇත. ඒ ආශ්‍රමයෙහි මාගේ පියත් මවත් දෙදෙනා වෙසෙති.
3743. මම ඒ පූර්‍වාචාර්‍ය්‍ය වූ මාපියන් කෙරෙහි වත් පිළිවෙත් පවත්වා පින් ලැබ ගැනුමට ඉඩ නො ලබමි. එ බැවින් පින්වත්හු සපිරිවරින් ගොස් සෝණ පණ්ඩිතයන් දන්වා ආයතිසංවරය යදිමු යි නන්‍ද තවුසා කී ය.
3744. බ්‍රාහ්මණය, යමක් මට කියහි නම් ඒ ඔබගේ වචනය මම ඉටු කරමි. මේ කරුණ ද අපට කියනු මැනැවි. ඒ ක්‍ෂමාව ඉල්ලන්නෝ කොපමණ ද?
3745. ශතාධික ජනපද වැසියෝ ද ශතාධික බ්‍රාහ්මණ මහාසාල කුලීනයෝ ද, උසස් උත්පත්ති ඇති යස පිරිවරින් යුත් මේ සියලු රජවරු ද, මනෝජ රජ නම් වූ පින්වත් තෙමේ ද යන සියල්ලෝ ම සෝණ පණ්ඩිතයන් කමාකරවන්නෝ වෙති.
3746. ඇතරුවෝ ඇතුන් ද, අසරුවෝ අසුන් ද සරසා යොදත්වා සාරථිය, නුඹ ද රිය සරසව. ඇතුන් අසුන් හා රථ සැරැසිය යුතු බඩු ගනිවු රියෙහි තබන ලද ධ්වජපාදයන්හි ධ්වජ ඔසවත් වා. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නෙමි (යි ද රජ තෙමේ නියම කෙළේ ය.)
3747. රජ තෙමේ සිවුරඟසෙනඟින් පිරිවරනා ලද්දේ ඒ නගරයෙන් පිටත්විය. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද ඒ අසපුවට ගියේ ය.
3748. කොලොම්මුවා කද සතරඟුලක් උරහිස ස්පර්‍ශ නො කරමින් ම අහසින් එයි. (මෙය) දිය ගෙනෙන්නට යන්නා වූ කවර නම් කෙනකුගේ කද දැ යි මනෝජ රජ ප්‍රශ්න කෙළේ ය.
3749. මහරජ, මම ව්‍රත රක්නෙම් සෝණ නම් තවුස්මි. රෑ දාවල් නො කම්මැලි වූයෙම් මාපියන් පෝෂණය කරමි.
3750. මහරජ, වනයෙහි ගෙඩි ද අල ද ගෙනවුත් පෙර කළ උපකාර සිහිකරමින් මම මා පියන් පෝෂණය කරමියි සෝණ තාපසයා කී ය.
3751. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නට කැමැත්තෙමු. සෝණ තාපසයන් වහන්ස, යම් මඟකින් අසපුවට යමු ද ඒ මඟ කියනු මැනැවි.
3752. මහරජ, මේ එකපදික මාර්‍ගය වේ. මේ මඟින් යව්. යම් දිසාවෙක්හි මේඝයට බඳු පැහැති මනා ව පිපී ගිය කොබෝලීල ගසින් ගැවසීගත් වනය පෙනේ ද, මෙහි මාගේ පිය වූ කෝසිය ගෝත්‍රිකයා වෙසේ ය යි සෝණ තාපසයා කීයේ ය.
3753. මහර්ෂී වූ සෝණ තාපස තෙම මෙය කියා රජුන්ට අනුශාසනා කොට ඉක්මන් ව අන්තරීක්‍ෂ නම් වූ අහසට පැන නැඟැ (අනෝතත්ත විලට) ගියේ ය.
3754. අසපුව හැමද අසුනක් පනවා පන්සලට පිවිස පියාට (ඔවුන් ආ බව) දැන්වී ය.