297. ප්‍රහීණ නො කරන ලද කෙලෙස් කසට ඇති යමෙක් කාෂාය වස්ත්‍රය (සිවුර) හඳනේ පොරෝනේ ද ඉන්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථ සත්‍යයෙන් (චතුස්සත්‍යාවබෝධයෙන්) පහ වූ හෙතෙමේ කසාවතට (සිවුරට) නුසුදුසු යි.
298. යමෙක් දුරු කරන ලද කෙලෙස් කසට ඇත්තේ ද හෙවත් කෙලෙස් නසන ලද්දේ ද (ලෝකෝත්තර - මාර්‍ගඵල) ශීලයෙහි මනාකොට පිහිටියේ ද ඉන‍්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථසත්‍යයෙන් යුක්ත ද හෙතෙමේ ඒකාන්තයෙන් කසාවතට (සිවුරට) සුදුසු යි.
1. කාසාව ජාතක යි.
299. පාරාසරිය බමුණු තෙමේ, තෝ පාපය නො කරව, යම්බඳු පාපයක් කරන ලද ද තෝ පසුව තැවෙන්නෙහිය කියා යම් වචනයක් එකල්හි කීයේ ද මේ ආචාර්‍ය්‍යවචන යි.
300. පුරුෂ තෙමේ යම් ක්‍රියාවක් කෙළේ ද ඒ ක්‍රියාව තමා කෙරෙහි දකී. කල්‍යාණ ක්‍රියා කරන්නේ කල්‍යාණයක් ම දකී. පාපක්‍රියා කරන්නේ පාපයක් ම (අයහපතක් ම) දකී යම්බඳු බිජුවටක් වපුරා ද එබඳු ම ඵලයක් ගෙනයන්නේ ය.
2. චුල්ලනන්‍දි ජාතක යි.
301. (ආචාර වශයෙන්) නමස්කාර කරන්නාහට නමස්කාර කරන්නේ ය. තමා සෙවුනහු සේවනය කරන්නේ ය. තමාගේ කෘත්‍යයට අනුව කටයුතු කරන්නාහට ප්‍රතිකෘත්‍ය (පෙරළා කටයුතු) කරන්නේ ය. අවැඩ කැමැත්තහුට වැඩක් (අර්‍ත්‍ථයක්) නො කරන්නේ ය. තමා භජනය නො කරන්නහු ද භජනය නො කරන්නේ ය.
302. තමා අත්හරින්නහු තෙමේ ද හරන්නේ ය. ඔහු කෙරෙහි තෘෂ්ණාව නො කරන්නේ ය. පහ වූ චිත්තයෙන් (හෙවත් හිතවත්කමින් සිත බැහැර වූ කල්හි ඔහු) නො සෙවුනේ ය. වෘක්‍ෂය ඵලයන්ගෙන් හීන යයි දැනැගත් පක්‍ෂියා අන් රුකක් සොයා යන්නේ ය. ලෝකය මහත් ය, විශාලය. (ලෝකය මිනිසුන්ගෙන් පිරී පවත්නා බැවින් තමා කෙරෙහි ස්නෙහ නො කරන පුරුෂයා හැරැදමා ස්නෙහ කරන පුරුෂයකු සොයා ගතයුතුය යනු කී සේයි.)
3. පුටභත්ත ජාතක යි.
303. වානරේන්‍ද්‍රය, වාක්සත්‍යය ද පරික්‍ෂාඥානය ද ධෛර්‍ය්‍යය ද ත්‍යාගය ද යන මේ ධර්‍මයෝ සතර දෙන තට මෙන් යම් පුද්ගලයකුට විද්‍යමාන වෙත් ද හෙතෙමේ සතුරා ඉක්මවා පවතී.
304. වාක්සත්‍යයද පරීක්‍ෂාඥානය ද ධෛර්‍ය්‍යය ද ත්‍යාගය ද යන මේ අතිසුන්දර වූ ගුණයෝ යමක්හට විද්‍යමාන නො වෙත් ද හෙතෙමේ සතුරා ඉක්මවා නො පවතී.
4. කුම්භීල ජාතක යි.
305. දේවයෙනි, මාගේ සියලු කෘත්‍යයන්හි ව්‍යාවෘත වූ පුරුෂයෙක් ඇත. ඔහුගේ ද එක් අපරාධයෙක් ඇත. ඒ අපරාධයෙහි ලා ඔබ කුමක් සිතන්නෙහි ද? (කවර නම් දඬුවමක් අනුමත කරන්නෙහි ද?)
306. අපගේ ද එබඳු පුරුෂයෙක් ඇත. (හේ) මෙතන්හි ම ඇත. (සිටි) සකලගුණාඞ්ගයෙන් සැදුණු පුද්ගලයෝ දුර්‍ලභයහ (එහෙයින් මෙබඳු අවස්ථාවන්හිදී) අපට ඉවැසීම අභිමත යි (සුදුසුයි).
5. ඛන්තිවණ්ණන ජාතක යි.
307. සුදුසු කාලයෙහි නික්මීම නෙහොත් පරාක්‍රමය යහපත් වේ. අකාලයෙහි (තම නිවාසස්ථානයෙන්) නික්මීම නොහොත් පරාක්‍රමය යහපත් නො වේ. අකාලයෙහි නික්ම නොහොත් වීර්‍ය්‍ය කොට කිසි දියුණුවක් නො බබළයි හෙවත් නො ලබයි. (නො කල්හි නික්මුණු) බකමුහුණුවා නැසූ කාකසේනාව මෙන් (නො කල්හි) හුදෙකලා වූවහු (වීර්‍ය්‍ය කළ ද) බොහෝ දෙනා වට කොට විනාශයට පමුණුවන්නාහු ය.
308. (පැරැණි පඬිවරුන් ව්‍යවස්ථා කොට තබන ලද) විධියගේ විධාන දන්නා වූ නොහොත් විධාන ක්‍රම දන්නා වූ අන්‍යයන්ගේ සිදුරු දන්නා වූ ප්‍රාඥයා සියලු සතුරන් වසඟ කොට නුවණැති බකමුහුණා මෙන් සුවපත් වූයේ වන්නේ යි.
6. කෝසිය ජාතක යි.
309. ශූර ගුණයෙන් යුක්ත වූ වික්‍රම ස්වභාව ඇති පහර දෙන්නා වූ පුරුෂයා හා ශූර පුරුෂ තෙමේ එක්තැනට පැමිණ (ඔවුනොවුන් සටන් නො කොට කුමට යේ ද?) හස්තිය, මෙහි එව නවතුව. කුමට බිය වූයේ පළා යෙයි ද? මාගේ ද තාගේ ද වික්‍රමය අඟුමගධ දෙරට වැස්සෝ බලත්වා.
310. තා පාදයෙන් නො මරමි, දළ සඟළෙන් නො මරමි, සොඬිනුත් නො මරමි. අශුචියෙන් ම තා මරමි, අශුචියෙන් අශුචිය නසනු ලැබේවා. (කුරුවැණියක් ඇතකු දැකැ සටනට කැඳවූ අවස්ථාවෙහි ඇතුවර්චස් පිණ්ඩයක් හෙළා කුරුවැණියා මැරූ සැටි දැක්වේ.)
7. ගුථපාණක ජාතක යි.