293. මාගේ මසුරනැ මාගේ රත්රනැ යි ආර්‍ය්‍යයධර්‍මය නො දක්නා ප්‍රඥා රහිත මිනිසුන්ගේ රෑ දාවලැ පැවැති තෙල කථාව වෙයි.
294. ගෘහයෙහි ගැහැවියෝ දෙදෙනෙක් වෙති. ඔවුන් කෙරෙහි එකෙක් දැළිරවුළු නැත්තේ යැ. එල්බෙන තන ඇත්තේ යැ, සකස් කළ කෙස්කලබ ඇත්තේ යැ, යළි විදුනා ලද කන් ඇත්තේ යැ, බොහෝ ධනයෙන් විකිණි ගන්නා ලද්දේ යැ, හේ ඒ (දස්කම්කරු ආදි) ජනයා මුව සැතින් විදුනේ යි.
9. ගරහිත ජාතක යි.
295. සුවසේ ජීවත් වූ ස්වභාව ඇතියෙහි රටින් නික්මැ නිර්ජල වනයට ආයෙහි ඒ තෝ එකලා වූයෙහි වනයෙහි ගස්මුලෙක කෘපණයක්හු සෙයින් (සිතිවිලි) සිතහි. ඒ කුමක් හෙයිනැයි?)
296. ඒ මම් සුවසේ ජීවත් වූ පියවි ඇතියෙමි, සිය රටින් නික්මැ නිරුදක වනයට ආයෙම් එකලා වැ බැගෑපත් වූවකු සෙයින් බුද්ධාදි සත්පුරුෂයන්ගේ (අටලෝ) දහම් සිහි කෙරෙමින් ධ්‍යාන කෙරෙමි යි.
10. ධම්මද්ධජ ජාතක යි.
සත්වැනි බීරණත්‍ථම්භකවර්‍ග යි.
එහි උද්දානය:
බීරණත්‍ථම්භයෙහි සිට පුහුණු කළ සෝමදත්ත ජාතක යැ, නළුවකු ඇති උච්ඡිට්ඨහත්ත ජාතක යැ, භරු ජාතකයැ, පුණ්ණනදි ජාතක යැ, (බහුභාණී) කච්ඡප ජාතක යැ, ගිනි සඳහන් කළ මච්ඡ ජාතක යැ, (පවනෙ) සෙග්ගු ජාතක යැ, සීවැල් මීයන් කෑ කූටවාණිජ ජාතක යැ, ලම්බත්‍ථන පැවැසු ගරහිත ජාතක ය සමඟ (කපණෙන) ධම්මද්ධජ ජාතකයෙන් දසය වේ.
8. කාසාව වර්‍ගය
297. ප්‍රහීණ නො කරන ලද කෙලෙස් කසට ඇති යමෙක් කාෂාය වස්ත්‍රය (සිවුර) හඳනේ පොරෝනේ ද ඉන්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථ සත්‍යයෙන් (චතුස්සත්‍යාවබෝධයෙන්) පහ වූ හෙතෙමේ කසාවතට (සිවුරට) නුසුදුසු යි.
298. යමෙක් දුරු කරන ලද කෙලෙස් කසට ඇත්තේ ද හෙවත් කෙලෙස් නසන ලද්දේ ද (ලෝකෝත්තර - මාර්‍ගඵල) ශීලයෙහි මනාකොට පිහිටියේ ද ඉන‍්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථසත්‍යයෙන් යුක්ත ද හෙතෙමේ ඒකාන්තයෙන් කසාවතට (සිවුරට) සුදුසු යි.
1. කාසාව ජාතක යි.
299. පාරාසරිය බමුණු තෙමේ, තෝ පාපය නො කරව, යම්බඳු පාපයක් කරන ලද ද තෝ පසුව තැවෙන්නෙහිය කියා යම් වචනයක් එකල්හි කීයේ ද මේ ආචාර්‍ය්‍යවචන යි.
300. පුරුෂ තෙමේ යම් ක්‍රියාවක් කෙළේ ද ඒ ක්‍රියාව තමා කෙරෙහි දකී. කල්‍යාණ ක්‍රියා කරන්නේ කල්‍යාණයක් ම දකී. පාපක්‍රියා කරන්නේ පාපයක් ම (අයහපතක් ම) දකී යම්බඳු බිජුවටක් වපුරා ද එබඳු ම ඵලයක් ගෙනයන්නේ ය.
2. චුල්ලනන්‍දි ජාතක යි.
301. (ආචාර වශයෙන්) නමස්කාර කරන්නාහට නමස්කාර කරන්නේ ය. තමා සෙවුනහු සේවනය කරන්නේ ය. තමාගේ කෘත්‍යයට අනුව කටයුතු කරන්නාහට ප්‍රතිකෘත්‍ය (පෙරළා කටයුතු) කරන්නේ ය. අවැඩ කැමැත්තහුට වැඩක් (අර්‍ත්‍ථයක්) නො කරන්නේ ය. තමා භජනය නො කරන්නහු ද භජනය නො කරන්නේ ය.
302. තමා අත්හරින්නහු තෙමේ ද හරන්නේ ය. ඔහු කෙරෙහි තෘෂ්ණාව නො කරන්නේ ය. පහ වූ චිත්තයෙන් (හෙවත් හිතවත්කමින් සිත බැහැර වූ කල්හි ඔහු) නො සෙවුනේ ය. වෘක්‍ෂය ඵලයන්ගෙන් හීන යයි දැනැගත් පක්‍ෂියා අන් රුකක් සොයා යන්නේ ය. ලෝකය මහත් ය, විශාලය. (ලෝකය මිනිසුන්ගෙන් පිරී පවත්නා බැවින් තමා කෙරෙහි ස්නෙහ නො කරන පුරුෂයා හැරැදමා ස්නෙහ කරන පුරුෂයකු සොයා ගතයුතුය යනු කී සේයි.)
3. පුටභත්ත ජාතක යි.