219. සාම රජුගේ පණ්ඩව නම් අශ්වයා ගිරිදත්ත නම් කොර අස්පලුවා විසින් දූෂණය කැරිණ. පුරාණ (නො කොර) ස්වභාවය හැරැ අස්පලුගේ කොරය අනු වැ හික්මේ.
220. ඉදින් ඕහට අනුරූප වැ උපන් සොඳුරු බැවින් කල්පිත වූ (සැදුම් ලත්) පුරුෂයෙක් මුවලනුව ගෙනැ අසු අශ්වමණ්ඩලයෙහි ඇවිද්ද වී නම් කොරබව හැරැ වහා මැ අශ්වයාගේ උතුම් ස්වභාවය අනු වැ හික්මේ.
4. ගිරිදත්ත ජාතක යි.
221. යම්සේ මඬින් මිශ්‍ර වූ නො පැහැදුණු ජලයෙහි රන්වන් බෙල්ලන් ද වටබෙල්ලන් ද මසුන් ද (බලන්නේ නමුදු) නො දකී. එමෙන් මැ සිත කැලැඹුණු කල්හි ද ආත්මාර්‍ත්‍ථ පරාර්‍ත්‍ථයන් නො දකී. (නො පෙනේ).
222. යම්සේ නො කැලැඹුණු පැහැදුණු දියෙහි රන්වන් බෙල්ලන් ද මසුන් ද හේ (බලන පුරුෂයා) දකී ද එමෙන් මැ හිත (ලෝහාදියෙන්) නො කැලඹුණු කල්හි ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද හේ (රාගාදීන් දුරු කළ සිතැති පුරුෂ) දකී.
5. අනභිරති ජාතක යි.
223. මේ අඹරුක පූර්‍වයෙහි වර්‍ණයෙන් ද සුවඳින් ද රසයෙන් ද යුක්ත වූයේ වී ය. පූර්‍වයෙහි කළ සැලැකිලි දැනුදු ලබමින් මේ අඹ රුක කවර හෙයින් තිත්ත වූ ඵල ඇත්තේ වී ද?
224. දධිවාහන රජුනි, ඔබේ අඹරුක කොහොඹ රුක් පිරිවර කොට ඇත්තේ මූලයෝ මුලින් එක් වැ සිටියහ. ශාඛාවෝ ශාඛාවන් හා සෙවුනාහ. ඒ අමධුර වූ කොහොඹ රුක් හා සහවාසයෙන් මිහිරි අඹරුක අමිහිරි පල ඇත්තේ වී ය.
6. දධිවාහන ජාතක යි.
225. උස් ගසෙකැ වෙළපට නැඟී (තොපි) රහසේ මන්ත්‍රණය කරන්නහු ය. ගසින් බැසැ බිමැ සිට මන්ත්‍රණය කරවු. එවිට මෘගරාජයා ද එය අසයි.
226. යම් කරුණෙකින් හංසයා හංසයා හා ද දෙවියා දෙවියා හා ද මන්ත්‍රණ කෙරේ ද ඒ මන්ත්‍රණයෙහි ශරීර යැ ජාති යැ ස්‍වර යැ ගුණ යැ යන සතර කරුණෙකින් හීන වූ තට කවර නම් ප්‍රයෝජනයෙක් ද, ජම්බුකය (සිගාලය) බිලයට පිවිසෙව.
7. චතුමට්ඨ ජාතක යි.