181. ජලාබුජය (මුගටිය) සතුරු වූ අණ්ඩජයා (සර්‍පයා) සමඟ මිතුරුකම් කොට දළ විවෘත කැරැගෙනැ හෝනෙහි ය. තට බිය කොයින් ආයේ ද,
182. සතුරා කෙරෙහි දු සැක කරන්නේ මැ ය. මිතුරා කෙරෙහි දු විශ්වාස නො කරන්නේ ය. මිත්‍ර වූ අභයස්ථානයෙන් උපන් බිය මුල් ද කපා විනාශ කරන්නේ ය.
5. නකුල ජාතක යි.
183. උපසාළ්හක නමින් තුදුස් දහස් දෙනෙක් මේ ප්‍රදේශයෙහි දවන ලදහ. මේ ලොව්හි අමාතස්ථානයෙක් නැත.
184. යම් පුද්ගලයකු කෙරෙහි සත්‍යය ද ධර්‍මය ද අවිහිංසාව ද ශීලසංයමය ද ඉන්‍ද්‍රියදමනය ද යන මේ ගුණයෝ වෙත් ද ආර්‍ය්‍යයෝ මේ ස්ථානය සේවනය පිණිස එළඹෙත්. ලොව්හි මේ ගුණසමූහය (අමෘතභාවය සිදු කරනුයෙන්) අමෘතස්ථාන නම් වේ.
6. උපසාළ්හක ජාතක යි.
185. මහණ, යොවුන් වියෙහි කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙහි. කාමයන් අනුභව කොට භික්‍ෂාවෙහි නො හැසිරෙන්නෙහි. මහණ, තරුණ කාලයෙහි කාමයන් අනුභව කොට මහලු වියෙහි භික්‍ෂාවෙහි හැසිරෙව. (කාමයන් අනුභවයට සුදුසු කාලය තොප නො ඉක්මේවා).
186. මම (ඔබ කියන) කාලය නො දනිමි. කාලය සැඟවුණේ නො දක්නා ලැබෙයි. එහෙයින් කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙමි. මා තපස්කාලය නො ඉක්මේවා.
7. සමිද්ධි ජාතක යි.
187. වේගයෙන් දිවෙන උකුසු ගෝචරයෙහි සිටියා වූ කිරිල්ල වෙතට වහා පැමිණියේ ඒ ශීඝ්‍ර ගමනින් මරණයට පැමිණියේ ය.
188. නීතියෙන් සම්පූර්‍ණයෙමි, පිය පරපුරෙන් ආ ගෝචරයෙහි ඇලුණෙමි. පහ වූ සතුරා ඇති ඒ මම තමහට අර්‍ත්‍ථයක් බලාපොරොත්තුවෙමින් සතුටු වෙමි.
8. සකුණග්සි ජාතක යි.
189. යමෙක් ඒකාන්තයෙන් මැ අප්‍රමාණ වූ මෛත්‍රි සිතින් උඩින් ද යටින් ද සරසින් දැ යි සර්‍වප්‍රකාරයෙන් සකල ලෝකයා කෙරෙහි අනුකම්පා කෙරේ ද,
190. අප්‍රමාණ වූ හිත වූ මෛත්‍රී චිත්තය සම්පූර්‍ණ කොට මනා වැ වඩන ලද ද, (එසේ මැ) ප්‍රමාණවත් වැ කරන ලද (යම් කාමාවචර) කුශලකර්‍මයෙක් වේ ද ඒ කර්‍මය මෛත්‍රී චිත්තයෙහි නො සිටිනේ ය. (අර්‍පණාප්‍රාප්ත මෛත්‍රී චිත්තය කාමාවචර කුශල කර්‍මය යටපත් කොට සිටි යනු අදහසය.)
9. අරක ජාතක යි.
191. තොරණෙහි අගැ සිටින මේ කටුස්සා පූර්‍වයෙහි උඩඟු නො වී ය. මහෞෂධය, කටුස්සා කවර හෙයින් උඩඟු වී දැ යි දනුව.
192. කටුස්සා පෙරැ නො ලද විරූ අඩමස්සක් ලදින් මියුලු නුවරැ වේදේහ රජු ඉක්මවා සිතා යි.
10. කකණ්ටක ජාතක යි.
දෙවෙනි සන්‍ථව වර්‍ග යි.
එහි උද්දානය:
පණ්ණකුටිය සැවූ සන්‍ථවජාතකය සමඟ ඉන්‍දිසමාන ගොත්ත ජාතකය යැ. උතුම් වූ සුසීම ජාතක යැ. ගිජ්ඣ ජාතක යැ, (ජලාබුජක) නකුල ජාතක යැ, උපසාළ්හක යැ. (භික්‍ඛු) සමිද්ධි ජාතකයැ. (ලාප) සකුණග්සී ජාතක යැ, (මෙත් වැඩූ) අරක ජාතක යැ. (උන්නමනය ඇති) කකණ්ටක ජාතකය යන දසය වෙත්.