175. කුත්සිත පුරුෂයා සමඟ යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් නපුරෙක් නැත. (කුමක් හෙයින් ද යත්) ගිතෙලින් කිරිබත් සන්තර්පිත වූ හෙවත් පුදනු ලැබූ ගින්න දුකසේ කරන ලද (ඒ කිරිබත පිසූ) අතුපැල දැවි ද (එහෙයිනි.)
176. සත්පුරුෂයා හා යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් උතුම් බවෙක් නැත. (කුමක් මෙන් ද යත්) සහවාසය කරණ කොටගෙනැ සාමා මෘගධේනුව සිංහයාගේ ද ව්‍යාඝ්‍රයාගේ ද දිවියාගේ ද මුහුණ ලොවි. (එමෙනි)
2. සන්‍ථව ජාතක යි.
177. සුසීම මහරජ, තොපගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සාදන ලදහ. තෙල ඇතුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඔවුනට (අන් බමුණනට) දෙමි යි කීයෙහි සැබැවෙක් ද?
178. මාණවකය, මාගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සදන ලදහ. ඔවුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඒ බමුණනට දෙමි යි කීමි.
3. සුසීම ජාතක යි.
179. ගිජුලිහිණියා යොදුන් සියයක් ඉක්මවා සිටියා වූ ද කුණපයන් දකී. (එහෙත්) මරුදැලටත් මලපුඬුවටත් පැමිණ ද කුමක් හෙයින් එය නො දත්හි ද,
180. ජීවිතාවසානය පැමිණි යම් කලෙක්හි විනාශය වන්නේ ද එකල්හි සත්ත්‍ව තෙමේ මරුදැලට ද මලපුඬුවට ද පැමිණත් (ජීවිත විනාශ කාරණය) නො දනී.
4. ගිජ්ඣ ජාතක යි.
181. ජලාබුජය (මුගටිය) සතුරු වූ අණ්ඩජයා (සර්‍පයා) සමඟ මිතුරුකම් කොට දළ විවෘත කැරැගෙනැ හෝනෙහි ය. තට බිය කොයින් ආයේ ද,
182. සතුරා කෙරෙහි දු සැක කරන්නේ මැ ය. මිතුරා කෙරෙහි දු විශ්වාස නො කරන්නේ ය. මිත්‍ර වූ අභයස්ථානයෙන් උපන් බිය මුල් ද කපා විනාශ කරන්නේ ය.
5. නකුල ජාතක යි.
183. උපසාළ්හක නමින් තුදුස් දහස් දෙනෙක් මේ ප්‍රදේශයෙහි දවන ලදහ. මේ ලොව්හි අමාතස්ථානයෙක් නැත.
184. යම් පුද්ගලයකු කෙරෙහි සත්‍යය ද ධර්‍මය ද අවිහිංසාව ද ශීලසංයමය ද ඉන්‍ද්‍රියදමනය ද යන මේ ගුණයෝ වෙත් ද ආර්‍ය්‍යයෝ මේ ස්ථානය සේවනය පිණිස එළඹෙත්. ලොව්හි මේ ගුණසමූහය (අමෘතභාවය සිදු කරනුයෙන්) අමෘතස්ථාන නම් වේ.
6. උපසාළ්හක ජාතක යි.
185. මහණ, යොවුන් වියෙහි කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙහි. කාමයන් අනුභව කොට භික්‍ෂාවෙහි නො හැසිරෙන්නෙහි. මහණ, තරුණ කාලයෙහි කාමයන් අනුභව කොට මහලු වියෙහි භික්‍ෂාවෙහි හැසිරෙව. (කාමයන් අනුභවයට සුදුසු කාලය තොප නො ඉක්මේවා).
186. මම (ඔබ කියන) කාලය නො දනිමි. කාලය සැඟවුණේ නො දක්නා ලැබෙයි. එහෙයින් කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙමි. මා තපස්කාලය නො ඉක්මේවා.
7. සමිද්ධි ජාතක යි.