348. දුශ්ශීලයා පහර දී, ක්‍ලාන්තකරවා මරා දන් දේ ද, එබඳු දන් වළඳන ඒ පුද්ගලයා ද පාපයෙන් තැවරේ.
349. ඉදින් දුශ්ශීල තෙම අඹුදරුවනුදු මරා දන් දේ ද, එය වළඳන ප්‍රඥාවන්තයා පාපයෙන් නො තැවැරේ.
6. තේලෝවාද ජාතක යි.
350. පාදඤ්ජලී කුමාරයා ඒකාන්තයෙන් ම අප හැමට වඩා ප්‍රඥාවෙන් ඉතා බබළයි. එය එසේ මැ යැ. තොල් බිඳියි, මතුයෙහි අන් කරුණක් ඒකාන්තයෙන් බලයි.
351. මෙතෙම (පාදඤ්ජලී කුමාරයා) දහම ද නො දහම ද දියුණුව ද පිරිහීම ද නො දනී. තොල් බිඳුම විනා අන් කිසිවක් නො දනී.
7. පාදඤ්ජලී ජාතක යි.
352. හැමදෙනා විසින් කෑලගස දක්නා ලද. මේ කරුණෙහි කුමට සැක කරවු ද? සියලු තන්හි (කෑලගස පෙන්නූ අවස්ථාවන්හි) රියැදුරා නො විචාරන ලදි.
353. එපරිදි සියලු විදර්‍ශනා ඥානයෙන් යම් කෙනකුන් විසින් ස්පර්‍ශායතනාදී ධර්‍මයෝ නො දන්නා ලද ද ඔවුහු ඒකාන්තයෙන් කෑලගස පිළිබඳ සැකකළ සොහොයුරන් සේ ධර්‍මයන්හි සැක කරත්.
8. කිංසුකෝපම ජාතක යි.
354. සාලකය, තෝ එක ම පුතා වූයෙහි ය. අපගේ ගෙහි අධිපති වන්නෙහි ය. රුකින් බසිහි, එව දැන් ගෙට යම්හ.
355. මා තොපගේ මිතුරෙකැ යි සිතහි ද? යම් හෙයකින් උණ යටියෙන් මා පහළෙහි ද, එ හෙයින් තොප හා නො එමි. විලිකුන් අඹ උයන්හි රමණය කරම්හ. තෙපි සුවසේ ගෙට යව.
9. සාලක ජාතක යි.
356. රාගාදි කෙලෙසුන් සන්සිඳීමෙහි ඇලුණු මේ තවුස් සීතල නිසා හටගත් බියෙන් පෙළුණේ (ගෙදොර) සිටී. අනේ මේ තවුස් මේ ගෙට පිවිසේවා! සියලු සීත පීඩා දුරු කෙරේවා!
357. මේ කෙලෙස් සන්සිඳීමේ ඇලුණු තවුසෙක් නො වෙයි. මේ වෘක්‍ෂශාඛා ගෝචර කොට ඇති වඳුරෙකි. හෙතෙම ගිය ගිය තැන මල මූ කිරීම් ඇදියෙන් දූෂණය කරන්නෙකි, කිපෙන්නෙකි, ලාමකයෙකි. ඉදින් පිවිසියේ වී නම් මේ ගෙය ද දූෂණය කරන්නේ යි.
10. කපි ජාතක යි.
දසවැනි සිගාල වර්‍ගයි.
එහි උද්දානය:
සිවලා රජ වූ සබ්බදාඨ ජාතක යැ, සුනඛ ජාතක යැ, එසේ මැ (කෝසිය) ගුත්තිල ජාතක යැ, (ඉච්ඡති) විතිච්ඡ ජාතක යැ, (කාලඝසො) මූලපරියාය ජාතක යැ, තෙලොවාද ජාතක යැ, (ඔට්ඨ) පාදඤ්ජලි ජාතක යැ, (සාරථිනා) කිංසුකෝපම ජාතකයෙන් හි සාලක ජාතක යැ, කපි ජාතක ය යන මෙයින් දසය වේ.
දුක නිපාතය නිමියේ යි.
වර්‍ග උද්දානය:
දළ්හ වර්‍ගය ද, අන්‍ය සන්‍ථව වර්‍ගය ද, කල්‍යාණ ධර්‍ම වර්‍ගය ද, අසදිස වර්‍ගය ද, රුහක වර්‍ගය ද, නතංදළ්හ වර්‍ගය ද, යළි බිරණත්‍ථම්හක වර්‍ගය ද, කාසාව වර්‍ගය ද, උපාහන වර්‍ගය ද, සිගාල වර්‍ගය ද යන මෙයින් වර්‍ග දසය වේ.