171. කාරණාකාරණ දන්නා වූ හංසයෝ යම්සේ විනීලක නම් වූ මා උසුළද්ද එමෙන් මැ විදේහාධිපති වූ මියුලු නුවරැ රජු අශ්වයෝ උසුළත්.
172. විනීලය, තෝ පර්වත දූර්ගය සෙවුනෙහි දරුව, තට භූමි නො වූ පර්වත විෂමස්ථානය සෙවුනෙහි ග්රාමාන්තයෙහි වූ (කසළගොඩ අමුසොහොන් ආදී) ස්ථානයෝ සේවන කර, තෙල තොප මවගේ වාසස්ථාන යි.
10. විනීල ජාතක යි.
පළමුවැනි දළ්හ වර්ග යි.
එහි උද්දානය:
උතුම් මල්ලික (රාජෝවාදක) යැ, දද්දර (සිඟාල) යැ, ශුකර ජාතක යැ, උරගජාතක යැ, පස්වැනි ගග්ගජාතක යැ, මහාසේනා ඇති (අලීනචිත්ත) ජාතක යැ, සිඟාල (ගුණ) ජාතක යැ, සුහනු ජාතක යැ, උතුම් වූ මොර ජාතක යැ, විසීලක ජාතක යැ, යන දසය යි.
2. සන්ථව වර්ගය
173. අර්ත්ථය දන්නා වූ (ආචාර) ආර්ය පුද්ගල තෙමේ අනාර්ය්ය වූ කුත්සිත පුද්ගලයා හි සහවාසය නො කරන්නේ ය. (කුමක් හෙයින් ද යත්) බොහෝ කාලයක් එක් වැ වාසය කළත් පව් කරන්නේ ය. බොහෝ කාලයක් එක් වැ වාසය කළ ඉන්දසමානගොත්ත නම් තාපසයා මැරූ හස්තියා මෙනි.
174. ශීලයෙන් ද ප්රඥාවෙන් ද ශ්රැතයෙන් ද,යම් තැනැත්තකු මා හා සදෘශ යයි දන්නේ ද ඔහු හා සමග ම මිත්රත්වය කරන්නේ මැනැවි. සත්පුරුෂයා හා එක් වැ වාසය සුව එළවන්නේ යි.
1. ඉන්දසමානගොත්ත ජාතක යි.
175. කුත්සිත පුරුෂයා සමඟ යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් නපුරෙක් නැත. (කුමක් හෙයින් ද යත්) ගිතෙලින් කිරිබත් සන්තර්පිත වූ හෙවත් පුදනු ලැබූ ගින්න දුකසේ කරන ලද (ඒ කිරිබත පිසූ) අතුපැල දැවි ද (එහෙයිනි.)
176. සත්පුරුෂයා හා යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් උතුම් බවෙක් නැත. (කුමක් මෙන් ද යත්) සහවාසය කරණ කොටගෙනැ සාමා මෘගධේනුව සිංහයාගේ ද ව්යාඝ්රයාගේ ද දිවියාගේ ද මුහුණ ලොවි. (එමෙනි)
2. සන්ථව ජාතක යි.
177. සුසීම මහරජ, තොපගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සාදන ලදහ. තෙල ඇතුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඔවුනට (අන් බමුණනට) දෙමි යි කීයෙහි සැබැවෙක් ද?
178. මාණවකය, මාගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සදන ලදහ. ඔවුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඒ බමුණනට දෙමි යි කීමි.
3. සුසීම ජාතක යි.