5. චුල්ලසුතසෝම ජාතකය
3275. නියම් ගම් වැසි ජනයා ද මිත්රාමාත්යයන් ද පිරිස් වැසියන් ද අමතා දන්වමි. හිසෙහි පැසුණු කෙසක් හටගත්තේ ය. දැන් මම පැවිද්ද කැමැත්තෙමි’ යි සුතසෝම නම් රජ ප්රකාශ කෙළේ ය.
3276. දේවයන් වහන්ස, කෙසේ නම් මට අවැඩක් කියන්නෙහිද? මාගේ ළයෙහි අනින ලද හුලක් මෙන් කෙළෙහි ය. තමුන්නාන්සේගේ සත්සියයක් භාර්ය්යාවෝ වෙත්. තමුන්නාන්සේ පැවිදි වූ කල්හි ඒ භාර්ය්යාවරු කෙසේ ජීවත් වන්නාහු දැ? (යි ඔවුනතුරෙන් එකෙක් ඇසීය.)
3277. මේ තරුණ භාර්ය්යාවරු තම තමන්ගේ කටයුතුවලින් ප්රකටවන්නාහ. ඔවුහු අන් සැමියකු වෙත ද යන්නාහ. මම ස්වර්ගය පතන්නෙම් ද වෙමි. එහෙයින් මම පැවිදි වෙමි.
3278. දේවයන් වහන්ස, යම් හෙයෙකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම්, සුතසෝමය, මම යම්බඳු තොපගේ මව් වීම් ද, එය මා නපුරු කොට ලැබුවකි.
3279. දේවයෙනි, යම් හෙයෙකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම් සුතසෝමය, මම යම්බඳු වූ තොප ප්රසූත කෙළෙම් ද, මෙය මා විසින් නපුරු කොට ලබන ලද්දක් වී යයි මව කීවාය.
3280. දේවයෙනි, යම් හෙයකින් ජරාජීර්ණ වූ අප ගැන අපේක්ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම්, සුතසෝමය, එය කිනම් පැවිද්දක් ද? මෙය කවර නම් ධර්මයක්දැ? යි පිය තෙමේ ඇසුවේ ය.
3281. තොපගේ බොහෝ පුත්රයෝ ද නො පැමිණි යොවුන් වයස් ඇති ළදරුවෝ ය. මිහිරි වදන් බෙණෙන්නා වූ ඔවුහු තා නොදක්නෝ දුකට පත් වෙතැයි හඟිමි.
3282. යොවුන් වියට නො පැමිණි මිහිරි වදන් බෙණෙන මේ ළදරු පුත්රයන්ගෙන් පමණක් නොව තොප සියලු දෙනාගෙන් ද, බොහෝ කලක් වාසය කොට ද වෙන් වන්නට සිදුවේ. එය නො වැළැක්විය හැක්කකියි බෝසත් තෙම කීය.
3283. දේවයන් වහන්ස, යම් හෙයකින් අප අඬද්දී අපේක්ෂා රහිතව පැවිදි වෙහි ද? එහෙයින් නුඹ වහන්සේගේ හෘදය සිදුරු වී ද? වැන්දඹු තත්වයට වැටෙන අප කෙරෙහි කරුණාවක් නැද්ද? යි භාර්ය්යාවක් ඇසුවා ය.
3284. මගේ හෘදය සිදුරු නොවීය. තොප කෙරෙහි මාගේ කරුණාව ද ඇත්තේ ය. ස්වර්ග සම්පත්තිය ද පතන්නෙම් වෙමි. එහෙයින් මම පැවිදි වන්නෙමි.
3285. දේවයෙනි, යම් හෙයකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්ෂා රහිත වූයේ පැවිදි වෙහි ද? සුතසෝමය, මම යම්බඳු වූ තොපගේ භාර්ය්යා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.
3286. දේවයෙනි, යම් හෙයකින් මගේ කුස පිළිසිඳ ගැන්ම ගැන අපේක්ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි ද සුතසෝමය, මම යම්බඳු තොපගේ භාර්ය්යා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.
3287. මාගේ දරු ගර්භය මුහුකුරා ගියේ ය. කුස හොත් දරුවා යම්තාක් වදම් ද ඒ තාක් ඉවසුව මැනැවි. එකලා වූ මම වැන්දඹු නො කෙරේවා, පසුව දුක් දකිමියි අග මෙහෙසිය කීවාය.
3288. තීගේ දරු ගර්භය මුහුකුරා ගියේ යැයි දනිමි. එබැවින් තී පුත්රයකු ප්රසූත කරව අලාමක වර්ණ ඇති පුත්රයා ද තී ද හැර මම පැවිදි වන්නෙමි’ යි බෝසත් තෙම කීයේ ය.
3289. සොඳුර චන්ද්රා දේවිය, නො අඬව. ගිනිහිරි මල් බඳු ඇස් ඇත්තිය. නො හඬව. උතුම් ප්රාසාදයට නගුව. මම අපේක්ෂා විරහිතව යන්නෙමි යි කීයේ ය.
3290. මෑණියෙනි, කවරෙක් නුඹ කෝප කෙළේ ද? කුමක් හෙයින් හඬන්නෙහි ද? කුමක් නිසා මා දෙස ද දැඩිව බලන්නෙහි ද? වධ නො කටයුත්තකු වුවත් ඤාතීන් බලා සිටියදී ම නසමි. මට මේ කරුණ පහදා දෙව යි වැඩිමහලු පුත්ර තෙම ඇසීය.