3. අලම්බුසා ජාතකය
3175. ඉක්බිති වක්ත්‍ර නම් අසුරයා මැඩ පැවැත් වූ ජයප්‍රාප්ත ව දෙවියන්ගේ පිතෘස්ථානයෙහි වැජඹෙන්නා වූ මහත් අනුභාව ඇති ශක්‍ර තෙම සුධර්‍මා නම් දිව්‍ය සභායෙහි පරීක්‍ෂා කොට දැන අලම්බුසා නම් දිව්‍ය කන්‍යාවට මෙය කීයේ ය.
3176. පුරුෂයන් කෙලෙස් මිශ්‍රණයෙන් මිශ්‍ර කරන හෙයින් මිශ්‍රා නම් වූ ඍෂීන් පොලොබවා ලීමෙහි දක්‍ෂ අලම්බුසාවනි, ශක්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ ඉසිසිංග තාපසයා පොලොබවීටම තිට යාච්ඤා කෙරෙත්, එහි යව.
3177. එම්බා අලම්බුසාව, ව්‍රත රක්නා බ්‍රහ්මචාරී වූ ඒ ඉසිසිංග තාපසයා ගුණයන්ගෙන් වැඩි සිටියේ නිවන්හි ඇලුණේ ය. මොහු අපගේ විෂය ඉක්මවා යන්නට පෙර ඔහුගේ දෙව්ලොව යන මාර්‍ගයන් ආවරණය කරව.
3178. දිව්‍යරාජයාණෙනි, කිම නුඹ වහන්සේ මේ දෙව්ලොව ඍෂීන් පොලොබවීම පිණිස මාම දක්නෙහි ද? තවත් අප්සරාවෝ ඇත්තාහු නො වෙද්දැ යි අලම්බුසාව ප්‍රශ්න කළා ය.
3179. ශෝක රහිත වූ නන්‍දන වනයෙහි මා වැනි අප්සරාවෝද මට වඩා උතුම් අප්සරාවෝ ද ඇත්තාහ. ඔවුනට මේ ගමන් වාරය වේවා. ඔවුහු ද තවුසා පොලොබවීමට යෙත්වා.
3180. ඒකාන්තයෙන් ම තෝ ඇත්තක් කියව. ශෝක රහිත නන්‍දන වනයෙහි තී හා සමාන වූ ද තිට වඩා උතුම් වූ ද තවත් අප්සරාවෝ ඇත්තාහ.
3181. සියලු අංගයන්ගෙන් හොබනා වූ අලම්බුසාවනි, පුරුෂයකු වෙත ගියා වූ ඒ අප්සරාවරු තී යම් යම්බඳු පාරිචර්‍ය්‍යයක් දන්නී නම්, එය නොදන්නාහ.
3182. යහපත් තැනැත්තිය, තෝ ම යව. තී ස්ත්‍රීන් අතුරෙන් උතුම් වන්නී ය. තිගේ ම වර්‍ණයෙන් ද රූප සම්පත්තියෙන් ද ඒ තාපසයා වසඟයට පමුණුවා ගන්නෙහි ය.
3183. දෙව්රජහු පිටත්කර යවන ලද මම නො යන්නෙම් නො වෙමි. එහෙත් මේ තව්සාට ළංවන්නට බිය වෙමි. ඒ තාපස තෙම උග්‍ර තේජස් ඇත්තේ ය.
3184. ඍෂීන් පොලොබවීමට ගිය බොහෝ දෙන මෝහයෙන් සංසාරයට බැසගත්තාහු නිරයට පැමිණියහ. ඒ නිසා ලොමුදහ ගනිත්.
3185. පුරුෂයන් කැමතිවන ශරීර වර්‍ණයක් ඇති පුරුෂයන් ක්ලේශයෙන් මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව මෙසේ කියා ඉසිසිංග තවුසා ක්ලේශයන්ගෙන් මිශ්‍ර කරන්නට ගියා ය.
3186. ඕ තොමෝ ද ඉසිසිංග තාපසයා විසින් රක්නා ලද රත් කරව් ගසින් ගැවසීගත්තා වූ හාත්පස යොදුනක් පමණ වූ ඒ වනයට වැද.
3187. පෙර බත්කාලයෙහි ඉර උදාවන්නා වූ උදෑසන ම අමදිමින් ගිනිහල් ගෙහි සිටියා වූ ඉසිසිංග තාපසයන් වෙතට එළැඹියා ය.
3188. විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරැසුණු අමුණන ලද මිණිකොඬොල් ඇති තී විදුලියක සේ ද ඕසධී තරුව සේ ද බබළන්නෙහි ය. තෝ කවර තැනැත්තියක් ද?
3189. සූර්‍ය්‍ය රශ්මිය වැනි වර්‍ණ ඇති, රත්සඳුන් සුවඳැති තෝ මනා වට වූ ඌරුයුග්ම ඇත්තී ය. මහා මායා ඇත්තී ය. ළදරුවයස් ඇත්තී ය. මනෝඥ දැකුම් ඇත්තී ය.
3190. තෝ සිහින් වූ ඉඟටියක් ඇත්තී ය. සියුමැලි ය. නිර්‍මල ය. තීගේ පාදයෝ මනාව පිහිටියෝ ය. ගමන්කරන්නා වූ තෝ ඉතා කමනීය ය. මාගේ සිත ඇද ගන්නී ම ය.
3191. තීගේ කලවා යුවළ පිළිවෙළින් මහත් ය. ඇත් හොඬයක් බඳු උපමා ඇත්තේ ය. තීගේ ඉතා විශාල වූ උකුල රන් පෝරුවක් මෙනි.
3192. මනාව පිහිටියා වූ තීගේ නාභිය උපුල් කර්ණිකාවක් බඳු ය. කළු අඳුනෙන් පිරීගියාක් මෙන් දුරට දක්නා ලැබේ.
3193. තීගේ පයෝධර යුවළ ළෙහි හටගත් නැටි රහිත ව මනාව පැන නැගුණා වූ කිරි රඳා පවත්නා වූ මලානික නො වූ සමවට කුඩා ලබු ගෙඩියක් දෙකට කපා තැබුවාක් මෙනි.
3194. දික් වූ මිහිඟු බෙරයකට සමාන බැබැළීම් ඇති තීගේ ග්‍රීවය ඒණි මුවකුගේ බඳු ය. මනහර දෙතොල් දිවට බඳු පැහැයෙන් යුතුව.
3195. නිදොස් හනුමස් කෙළවර හටගත්තා වූ උඩුදත් හා යටී දත් දැහැටිවලින් පිරිමදින ලද්දාහු ඉතා දැකුම්කලු ය.
3196. කළුපැහැ මුල ඇති රතුපැහැ අග ඇති ඔලිඳ ඇට බඳු තීගේ ඇස් දික් වූයේත් මහත් වූයේත් ඉතා දැකුම්කලු ය.
3197. ඉතා දික් නොවූ මැනැවින් මට කරන ලද්දා වූ රන්පණායෙන් පීරන ලද තීගේ හිසෙහි වූ කෙස් සඳුන් සුවඳ ඇත්තේ ය.
3198. යම් තාක් සීසාන්නාහු ගෙරින් රක්නාහු ද, වෙළඳුන්ගේ යම් ස්වභාවයක් වේ ද සංයම ඇත්තා වූ තපස් රක්නා ඍෂිවරුන්ගේත් යම් පරාක්‍රමයකුත් වේ ද.