1. තෙසකුණ ජාතකය
3081. වෙස්සන්තර නම් පක්‍ෂිය, තට යහපතක් වේවා! රාජ්‍යය කරවනු කැමැත්තහු විසින් කවර නම් කෘත්‍යයක් කරන ලද්දේ යහපත් ද?
3082. පිය වූ කංස නම් බරණැස් රජතෙම බොහෝ කල් පමා වූයේ නොපමා වූ ද පුත්‍ර වූ ද මාගෙන් ප්‍රශ්නයක් විචාළේ යැ යි වෙස්සන්තර නම් බකමූණු පක්‍ෂියා චෝදනා කෙළේ ය.
3083. පිය රජුනි, රජ තෙමේ, පළමු කොට බොරුව ද, දෙවනුව ක්‍රෝධය ද, තෙවනු ව ක්‍රීඩාශීලී ස්වභාවය ද දුරු කරන්නේ ය. ඉක්බිති රාජ්‍යකෘත්‍යයන් කරවන්නේ ය. එය රාජව්‍රත යයි කීය.
3084. පිය රජුනි, පෙර කළා වූ යම් ඒ කර්‍මයක් ඒකාන්තයෙන් නුඹ තවන්නේ ද, රාගයෙන් රත් වූයේ ද්වේෂයෙන් දුෂ්ට වූයේත් යම් කර්‍මයක් කරයි ද, ඉන්පසු නැවත ඒ කර්‍මය නො කරන්නේ ය.
3085. රට දියුණු කරන්නා වූ මහරජ, පමා වූ රජුගේ රටෙහි සියලු භෝගයෝ වැනසෙත්. ඒ පාපය රජුගේ යයි කියනු ලැබේ.
3086. පිය රජුනි, ශ්‍රී කාන්තාව ද කාලකණ්ණිය ද විචාරන ලද්දාහු මෙය කීහ. ශ්‍රී නම් වූ මම උට්ඨානවීර්‍ය්‍යය ඇති අනුනට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ පුරුෂයා කෙරෙහි සිත් අලවමි යි කීවා ය.
3087. මහරජ, සම්පත් චක්‍රය බිඳින්නා වූ කාලකණ්ණි තොමෝ මෙරමාට ඊර්‍ෂ්‍යා කරන නපුරු සිත් ඇත්තා වූ යහපත් වැඩ දූෂ්‍ය කරන්නා වූ පුරුෂයා කෙරෙහි සිත් අලවයි.
3088. මහරජ, ඒ නුඹ සියල්ලන් කෙරෙහි සුහෘද වව. සියල්ල රක්නෙක් වව. කාලකණ්ණිය දුරු කරව. ශ්‍රී කාන්තාවට වාසස්ථාන වව.
3089. කසී රට අධිපති රජුනි, ලක්‍ෂමිය සහිත වූ ප්‍රඥායෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ උසස් අදහස් ඇති පුරුෂ තෙම පස මිතුරන්ගේ මුල ද අග ද සිඳී.
3090. මහරජ, ශක්‍ර තෙමේ ද උට්ඨානවීර්‍ය්‍යයෙහි ප්‍රමාද නො වේ. හෙ තෙමේ කුශලක්‍රියායෙහි ම ධෛර්‍ය්‍යය කොට උට්ඨාන වීර්‍ය්‍යයෙහි සිත පිහිටුවයි.
3091. ගන්‍ධර්‍වයෝ ද බ්‍රහ්මයෝ ද ඒ සක්රජුට සමාන ජීවිකා ඇත්තෝ ය. දේවතාවෝ උත්සාහවත් වූ පමා නොවන්නා වූ ඔහු අනුව පවතිත්.
3092. පියාණෙනි, ඒ නුඹ නොපමා වූයේ නොකිපියේ කටයුතු කළ මැනව. කටයුතුවල වෑයම් කරන්නේ මැනව. අලස තෙමේ සැප නොවිඳී.
3093. මහරජ, ඒ මා කී ප්‍රකාශනයෙහි ම ඒ ව්‍රතපදයෝ වෙත්. මෝ තොමෝ මැ අනුශාසනා වන්නී ය. මිතුරන් සුවපත් කිරීමට ද සතුරන්හට දුක් පිණිස ද මෙය සමර්‍ත්‍ථ වේ යයි වෙස්සන්තර නම් පක්‍ෂියා කීවේ ය.
3094. ඛත්ත නම් බකමූණු පක්‍ෂියාට සහෝදරිය වන කුණ්ඩලිණිය, මා විසින් විචාරන ලද ප්‍රශ්නය කියන්නට හැක්කෙහි ද? රජය කරවනු කැමැත්තහු විසින් කවර කෘත්‍යයක් කරන ලද්දේ යහපත් ද?
3095. යමෙක්හි සියල්ල පිහිටියේ නම්, එබඳු පද දෙකෙකි. නො ලද ලාභ ලබා ගැනුම ද ලද දෙය රැක ගැනුම ද යන දෙක ය.
3096. පියාණෙනි, ප්‍රාඥ වූ යහපතට දක්‍ෂ වූ දූකෙළියෙහි නොයෙදෙන්නා වූ ඇමතියන් භාණ්ඩාගාරිකාදි තනතුරුවල යෙදිය යුතු බව දැනගනු මැනවි.
3097. පියාණෙනි, නුඹගේ යම් ධනයකුත් වේ නම්, යම් ඇමතියෙක් එය රක්නේ ද, රිය සගන්නා රියදුරකු වැනි වූ හෙතෙම නුඹගේ කටයුතුවල යෙදවීම කරව.
3098. මනා කොට සංග්‍රහ කරන ලද ඇතුළත්හි වූ ජනය. ඇතිව තෙමේ ම වස්තුව බලා තැන්පත් කර තැබීම ද, ණය දීම ද කරන්නේ ය. අනුන් ලවා නො කරවන්නේ ය.
3099. තෙමේ ම අයවැය දැනගන්නේ ය. කළ නො කළ දේත් තෙමේ ම දැන ගන්නේ ය. නිග්‍රහ කටයුත්තාට නිග්‍රහ කරන්නේ ය ප්‍රග්‍රහ කටයුත්තාට ප්‍රග්‍රහ කරන්නේ ය.
3100. මහරජ, ඒ දනව්වැස්සෝ නො දැහැමි වූවාහු ධනයත් රටත් නො නසත්වා යි කියා දනව් වැස්සන්හට තමනට ප්‍රත්‍යක්‍ෂ කරුණින් අනුශාසනා කරන්නේ ය.
3101. පිරික්සා නො බලා වහා කටයුතු කරන්නෙක් නො වව. අනුන් ලවා කරවන්නෙක් හෝ නො වව. වහා කරන ලද කර්‍ම අනුව අඥාන තෙම පසුව තැවේ.
3102. පියාණෙනි, නුඹගේ සිත අකුශලය ඉක්මවා යන කල්හි අනුන්ගේ අකුශල කර්‍මයෙහි ඉතා දැඩිව කෝප වී කටයුතු නොකරව. ක්‍රෝධයෙන් වනාහි බොහෝ සමෘද්ධ වූ කුලයෝ අකුල බවට ගියාහ.
3103. පියාණෙනි, මම අධිපති වෙමි යි අන්‍යයා අනර්‍ත්‍ථයට නො බස් වව නුඹගේ රාජ්‍යයෙහි ස්ත්‍රීන්ට ද පුරුෂයන්ට ද දුකෙක් නො වේවා.