2. චිත්තසම්භූත ජාතකය
2351. මිනිසුන් විසින් මැනවින් පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. ස්වකීය කර්‍මයෙන් පුණ්‍ය විපාකයට පැමිණ මහත් ආනුභාව ඇති සම්භූත නම් වූ තමන් ප්‍රත්‍යක්‍ෂයෙන් දකිමි.
2352. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. යම්සේ මාගේ යශස් සමෘද්ධවීද කිම? එසේම මා සොහොවුරු චිත්තයාගේ සිතත් සමෘද්ධ වීද?
2353. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. දේවයන් වහන්ස, යම්සේ නුඹ වහන්සේගේ යශස් සමෘද්ධ වී ද, එසේ ම ඒ චිත්තයාගේ ද සිත සමෘද්ධ විය. චිත්තයා ගැන (මෙසේ) දැන ගන්නේ මැනැවි.
2354. පින්වත, මම චිත්ත නම් වෙ මැ යි කියන චිත්තයාගෙන් ම තට මෙය අසන්නට ලැබිණි ද? නැතහොත් අනෙකුගෙන් අසන්නට ලැබිණි ද? මෙය නුඹට කවරෙක් කීවේ ද? ගාථාව නම් මැනැවින් ගායනය කරන ලදී. ඒ ගැන මට සැකෙක් නැත. නුඹට ගම්වර සියයක් ද දෙමි.
2355. මම චිත්ත නම් වේ මැ යි කියන චිත්තයාගෙන් ම මට මෙය අසන්නට නො ලැබිණි. ඔබ තුමාගේ උයනෙහි වෙසෙන ඍෂිවරයෙක් මට මේ කරුණ කීවේ ය. රජු වෙත ගොස් මේ ගාථාව ගයව. එවිට තුටුසිත් රජ තෙමේ තට වරයක් ද දෙන්නේ ය.
2356. විසිතුරු මැසුම් ඇති අලංකාර ලෙස සරසන ලද රාජ රථයන් යොදත්වා, ඇතුන්ගේ පොරොද්ද බඳිමු. ග්‍රීවාභාරණයන් ද පළඳමු.
2357. බෙර - මිහිඟු බෙර - සක් යන තූර්‍ය්‍යයන් නාද කෙරෙත්වා, වේග ගමන් ඇති වාහන ද යොදත්වා, යම් තැනක හුන් ඍෂිවරයා දක්නට හැක්කෙම් නම්, අද ම ඒ අසපුවට යන්නෙමි යි රජ තෙමේ කීවේ ය.
2358. ඒකාන්තයෙන් මට යහපත් ලාභයෙක් විය. මා විසින් පිරිස් මැද ගාථාව මැනැවින් ගායනය කරන ලදි. ශීල ව්‍රතයෙන් සමන්‍විත වූ ඍෂිවරයා දැක ඒ මම ප්‍රීත වූයෙම් සතුටුසිත් ඇත්තෙම් වෙමි.
2359. පින්වතුන් වහන්ස, අපගේ අසුන ද පා දෝනා පැන් ද පිළිගන්නා සේක්වා, පින්වතුන් වහන්සේ ආගන්තුක සත්කාරයෙන් පිදීම් වශයෙන් විචාරමි. පින්වතුන් වහන්සේ අපගේ ආගන්තුක සත්කාරය පිළිගන්නා සේක්වා.
2360. නුඹ වහන්සේට සිත්කලු ගෘහයක් කෙරෙත්වා, ස්ත්‍රීසමූහයා විසින් තෙපි පිරිවරනු ලබව. අනුග්‍රහ පිණිස එයට අවකාශ කළ මැනැවැ. අපි දෙදෙනා මැ මේ රජ සැපත අනුභව කරම්හ යි රජ තෙම කීවේ ය.
2361. මහරජ, දුශ්චරිතයාගේ විපාකය දැක වැළිදු මනාව පුරුදු කළ සුචරිතයාගේ විපාකයත් දැක මෙසේ තමන් ම සංවරයට පැමිණියෙමි. පුත්‍ර සම්පත් හෝ ගව මහිෂාදී පශු සම්පත් හෝ ධන සම්පත් හෝ නො පතන්නෙමි.
2362. මෙලොව මිනිසුන්ගේ ජීවිතය වර්‍ෂයන් සම්බන්‍ධ දශක දශකයෙක් ම ය. ඒ දශකයන් සම්බන්‍ධ සීමාවට නොපැමිණ ම සිඳින ලද බට ගසක් මෙන් වියළෙයි. (මැරෙයි.)
2363. මහරජ, ඒ නැසෙන ජීවිතයෙහි ලා පස්කම් අරබයා කවර සතුටක් ද? කිනම් කායික ක්‍රීඩාවක් ද? කවර සොම්නස් සහගත ඇල්මක් ද? කිනම් ධනෝපාර්‍ජනයෙක් ද? දරුවන්ගෙන් හා භාර්‍ය්‍යාවන්ගෙන් ඇති ප්‍රයෝජන හෝ කුමක් ද? මම බන්‍ධනයෙන් මිදුණෙමි.
2364. ඒ මම හොඳින් ම දනිමි. මරුවා මට පමා නො වේ. මරුහට යටත් වූවහුට කවර රතියක් ද? කිනම් ධනෝපාර්‍ජනයෙක් ද?
2365. මහරජ, මිනිසුන්ගේ අධම වූ චණ්ඩාලයෝනිය දෙපා ඇත්තවුන් අතර පහත් වේ. පෙර අපි ස්වකීය පාපකර්‍ම විපාකයෙන් සැඬොල් මව් ගැබ්හි වුසූම්හ.
2366. අපි දෙදෙන අවන්ති දනව්වෙහි චණ්ඩාලයෝ වූම්හ. ඉන් සැව නේරඤ්ජරා ඉවුරෙහි මුවෝ වූම්හ. එයින් චුත ව නර්‍මදා නදී තීරයෙහි උකුස්සෝ දෙදෙනෙක් වූම්හ. අද ඒ බ්‍රාහ්මණ හා ක්‍ෂත්‍රිය වූම්හ.