1950. චන්‍ද්‍රාවෙනි, මේ ජීවිතය විනාශය කරා පැමිණියේය යි හඟිමි. (වැගිරෙන) ලෙයෙහි ගිලෙමි. ජීවිතය අත් හරිමි. ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
1951. මාගේ පණ නවතී. මට දුකෙකි. මාගේ හදවත දැවේ. ඉතා ක්ලාන්ත ඇත්තේ වෙමි. මේ මාගේ දුක ශෝක කරන චන්‍ද්‍රාව නිසා උපනි. අන් කරුණ නිසා නො වේ.
1952. රත් වූ ගලෙහි ලූ තණ මෙන් ද මුලසුන් කැලෑ ගසක් මෙන් ද මලානික වෙමි. දිය නො පිරුණු නදියක් මෙන් වියළෙමි. එය ශෝක කරන චන්‍ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වෙයි.
1953. පර්‍වත පාදයෙහි වැසි දිය මෙන් මගේ කඳුළු ධාරා නො සිඳී ගලයි. එය ශෝක කරන චන්‍ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වේ.
1954. රාජපුත්‍රය, යමෙක් දුක්පත් මා කැමැති මාගේ සැමියා වනයෙහි විද්දේ ද (ඒ නුඹ) පාපියෙක් වෙහි. විදුම් ලද හෙතෙම බිමැ හෝනේ ය.
1955. රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ සිත්හි යම් දුකෙක් වේ ද, මාගේ සිත්හි හටගත් දුක තොපගේ මව ද ලබාවා.
1956. රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ හිතෙහි යම් දුකෙක් වේ ද, මාගේ හිතෙහි හටගත් දුක තොපගේ බිරිඳ ද ලබාවා.
1957. රාජපුත්‍රය, යමෙක් අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ මව ද දූදරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා.
1958. රාජපුත්‍රය, යමෙක්, අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ බිරිඳ දරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා යි සාප කළා ය.
1959. චන්‍ද්‍රාවෙනි, නො හඬන්න. දුක් නො වන්න. තී මානෙල් මල් බඳු ඇස් ඇත්තීය. තෙපි රජකුලයේ ස්ත්‍රීන්ගෙන් පිදුම් ලබන්නී මාගේ භාර්‍ය්‍යාව හෙවත් අගමෙහෙසිය වන්නහු ය.