2199. මහඇගි කුළුගෙවල්හි වුසූ මහඇගි සිරි යහන් ඇසුරු කළ (සයනය කළ) රජතුමා රාජ්යය හැර දමා ප්රත්යන්තයට පැමිණි බව දැකැ,
2200. ඒ ඔබ වහන්සේට ප්රේමයෙන් මම සොයාබලා පවිත්ර කළ ඇල් සාලෙන් පිසූ, රසමසවුළෙන් යුතු උතුම් බත දුනිමි.
2201. ඔබ වහන්සේ ඒ බත පිළිගෙන අනුභව නො කොට බමුණාට දුන්හ. රජතුමනි, ඔබට නමස්කාර වේවා. මේ කිනම් ධර්මයක් ද?
2202. මේ බමුණා මාගේ ආචාර්ය්යවරයා වේ. මාගේ කුදු මහත් කටයුතුවල යෙදුණෙකි. ගරු කටයුත්තෙකි. මා දුන් දෙය ගන්නට සුදුස්සෙකි. එසේ හෙයින් භෝජනය දෙන්නට සුදුසු වෙමි.
2203. දැන් මම ගෞතම ගෝත්රයෙහි වූ රාජ පූජිත බමුණා විචාරමි. රජතුමා ඔබට රසමසවුළෙන් යුතු ව පවිත්ර බත දුන්නේ ය.
2204. ඔබ ඒ බත පිළිගෙන ඉසිවරයාට දුන්හ. ඔබ දානයට කෙත නො වේ යයි දත්තෙහි ද? ඔබට නමස්කාර වේවා, මේ කිනම් ධර්මයක් ද?
2205. ගිහිගෙයි බැඳුණු මම අඹුදරුවන් පෝෂණය කරමි. මිනිසුනට අයත් කම්සුව විඳින්නැ යි රජතුමාට අනුසාසන කරමි.
2206. වෙනෙහි වෙසෙන බොහෝ කල් වැඩූ තවුස්දම් ඇති ගුණයෙන් වැඩුණු දියුණු කළ සිත් ඇති ඉසිවරයාට භෝජනය දෙන්නට සුදුසු වෙමි.
2207. දැන් මම කෘශ වූ, නහර ඉල්පීගිය ශරීරය ඇති වැඩුණු කිසිලිලෝම හා නිය ද ඇති මැලියම් බැඳුණ දත් ඇති ධූලි සහිත හිසැති ඉසිවරයා විචාරමි.
2208. (ස්වාමීනි,) හුදෙකලා ව වනයෙහි වෙසෙන්නෙහි ය. ජීවත් වීම නො කැමැත්තෙහි ද? යමකුට තෙපි භෝජනය දුන්නහු ඒ භික්ෂූන් වහන්සේ කුමකින් තොපට වඩා ශ්රේෂ්ඨ ද?
2209. මම අල වර්ග ද තල් අල ද බිළාලි අල ද තක්කළ අල ද සාරා ගනිමින් බොඩහමු හා ඌරුහැල් පොලමින් රැස් කරමින්,
2210. පලා වර්ග ද නෙළුම් අල ද මීමස් ද ඩෙබර සහ නෙල්ලි ද ගෙනවුත් වළඳමි. මට එය අයිති ව ඇත.
2211. පිසන්නෙක් වූ මම, නො පිසන මමායනය රහිත පළිබෝධ නැති නුදුන් දෙය නො ගන්නා වූ පසේබුදුරජාණන් වහන්සේට ගන්නා වූ භෝජනය දෙන්නට සුදුසු වෙමි.
2212. දැන් මම නිහඬ ව වැඩ සිටින සිල්වත් භික්ෂූන් වහන්සේ විචාරමි. පවිත්ර ලෙස සකස් කළ රසමසවුළෙන් යුතු බත ඉසිවරයා ඔබ වහන්සේට දුන්නේ ය.
2213. ඔබ වහන්සේ ඒ බත පිළිගෙන නිහඬ ව හුදෙකලා ව වළඳති. අන් කිසිවකුට කැඳවීමක් නැත. ඔබ වහන්සේට නමස්කාර වේවා. මේ කිනම් ධර්මයක් ද?
2214. මම නො පිසමි. නො පිසවමි. නො සිඳිමි. නො සිඳවමි. පළිබෝධ රහිත මා සියලු පාපයන්ගෙන් දුරු වැ සිටින බව දැනැ,
2215. ඉසිවරයා, වමතින් ආහාර (බඳුන) ගෙන දකුණතින් පැන් කෙණ්ඩිය ගෙන මට රසමසවුල් සහිත පවිත්ර බත පිළිගැන්නුවේ ය.
2216. මමායනය සහිත අයිතිය ඇති මොව්හු මා වැන්නවුන්ට දෙන්නට සුදුස්සෝ වෙති. යමෙක් දෙන්නහුහට පවරා ද එය විරුද්ධ ප්රතිපදාවය යි මම හඟිමි.
2217. ඒකාන්තයෙන් මට වැඩ පිණිස අද රජතෙම මෙහි පැමිණියේ ය. යමකුට දුන් දෙය මහත් පල ද එය මීට පෙරැ නො දනිමි.
2218. රජවරු රටවල් (ලබා ගැනීමට) ගිජුවූහ. බමුණෝ රජවරුන්ගේ කුදු මහත් කටයුතු කිරීමට ගිජුවූහ. ඉසිවරයෝ අල වර්ග සහ ගෙඩිවර්ග වලට ගිජු වූහ. පසේ බුදුවරයෝ සියලු භවයන්ගෙන් මිදුණෝ වෙති.
13. භික්ඛාපරම්පර ජාතක යි.
පකිණ්ණක නිපාතය නිමි.
එහි උද්දානය:
සුවජාතක යැ චන්දකින්නර ජාතක යැ මහා උක්කුස (උක්ක) ජාතක යැ උද්දාලක (ඛරාජින) ජාතක යැ භිස ජාතක යැ සුරූචී (මහේසි) ජාතක යැ පඤ්චුපෝසථ යැ (කපොත) ජාතකයැ මහමොර ජාතක යැ තච්ඡකසූකර ජාතක යැ මහාවාණිජ ජාතක යැ සාධීන (රාජ) ජාතක යැ දසබ්රාහ්මණ ජාතක යැ භික්ඛාපරම්පර ජාතක යි.