1743. මෙලොව යම් කෙනකුන්ගේ සත්පියවරක් පමණ මිත්රසන්ථවයකුදු කිසිකලෙකත් ඇස්හමු නො වූ විරී ද, එබඳු සතුරෝ දෙදෙනෙක් මිත්ර වූවාහු කවර හෙයින් ඝටිත වැ හැසිරෙත් ද?
1744. ඉදින් අද පෙරබත් වේලෙහි තෙල ප්රශ්නය මට කියන්නට නොහැකි වන්නවු නම් තොප හැමදෙනා නෙරනෙමි. නුනුවණ සැහැවි ඇතියන්ගෙන් මට අර්ත්ථයෙක් නැත් මැ යි.
1745. මහාජනසමාජයෙහි මහත් වූ ජනකලහසමාගම හටගත් කල්හි විසුළ සිත් ඇතියමෝ නොයෙක් සිතිවිලි ඇතියමෝ තෙල ප්රශ්නය කියන්නට නො හැකියම්හ.
1746. රජතුමනි, මේ ප්රාඥයෝ එකඟසිත් ඇතියාහු එකිනෙකා රහසිගත වැ කායචිත්තචිවෙකයෙහි සිටියාහු සම්මර්ශන කොට අර්ත්ථ නිශ්චය කොට ඉක්බිති තෙල අර්ත්ථය කියන්නාහ යි.
1747. එළුමස් අමාත්යපුත්රයනට ද රාජපුත්රයනට ද ප්රිය මනාප වෙයි. ඔහු ශුනකමාංස භක්ෂණ නො කෙරෙති. එතෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළුබවෙක් වන්නේ යැ යි.
1748. අසුපිට අතුරුණු සුව හෙයින් එළුවාගේ සම වෙන් කොට ගනිත්. ඔහු ශුනකයාගේ සම නො අතුරති, එතෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළුබවෙක් වන්නේ යැ.
1749. එළුවා ඇඹරුණු අං ඇත්තේ යැ. ශුනකයාට අං නැත. එළුවා තණ කන්නේ යැ. ශුනකයා මාංසභක්ෂණ කරන්නේ යැ. එතෙකුදු වත් සුනඛයකු හා සමග එළුවාගේ යහළු බවෙක් වන්නේ යැ යි.
1750. එළුවා තණ කන්නේ යැ. කොළ කන්නේ යැ. ශුනකයා තණ නො කයි. කොළ නො කයි. ශුනකයා සාවා, බළලා අල්වා ගන්නේ යැ. එකෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළු බවෙක් වන්නේ යැ යි.
1751. පා සතරක් ඇති නිය අටක් ඇති මෙ එළුවා අප්රකට වැ තෙල ශුනකයාට මස් ගෙන එයි. මේ ශුනක තෙම මේ එළුවාට තණ ගෙන එයි.
1752. ප්රාසාදතලයට ගිය වේදේහ රජ අන්යෝන්ය ආහාර ව්යතීහාරය (හුවමාරුව) දුටුයේ වන. නරේන්ද්ර තෙම ශුනකයාගේ ද එළුවාගේ ද තෙල මිත්රධර්මය ආත්මප්රත්යක්ෂ කොට දුටුයේ යැ යි.
1753. යම්බඳු මාගේ කුලයෙහි මෙවන් පණ්ඩිතයෝ ඇද්ද? ඒ මට ඒකාන්තයෙන් අනල්ප ලාභයෙකි. ප්රාඥයෝ ගැඹුරු වූ නිපුණාර්ත්ථය සුභාෂිතයෙන් දැන කියති.
1754. පණ්ඩිත වූ තොපට එකෙකි අශ්වතරී රථයක් ද එකෙකි සමෘද්ධ වූ ගම්වරයක් ද යන සියල්ල දෙමි. සුභාෂිතයෙන් අතිශයින් සතුටු වූ සිත් ඇතියෙමි’යි.
8. මෙණ්ඩකප්රශ්න යි.
1755. අන් කෙනෙකුගේ ලොකු කුඩා වැරැදි සියලු ආකාරයෙන් නො දැක, නො විමසා රජ තෙම දඬුවම් නියම නො කරන්නේ ය.
1756. කිසියම් ක්ෂත්රියයෙක් (රජෙක්) නුවණින් නො සිතා (කෙනකුට) දඬුවම් නියම කෙරේ ද හේ කටු සහිත ආහාරය ගිලී. මැස්සන් සහිත බොජුන් බුදිනා ජාත්යන්ධයකු මෙන් වෙයි.
1757. යමෙක් දඬුවම් නොදිය යුත්තාට දඬුවම් කෙරේ ද දඬුවම් දිය යුත්තාට දඬුවම් නො කෙරේ ද හේ විෂම මඟට පැමිණියා වූ අන්ධයකු පරිද්දෙන් පාෂාණනාදියෙහි පැකිළෙන්නේ සම අසම දෙක නො දනී. (මහත් වූ අපාය දුකට පැමිණෙයි.)
1758. යමෙක් මේ ලොකු කුඩා කරුණු සර්වප්රකාරයෙන් මනාකොට දැන (දැකැ) අනුශාසනා කෙරේ ද හේ ඒකාන්තයෙන් රාජ්යානුශාසනයට සුදුසු වෙයි.
1759. ඒකාන්ත මොළොක් පැවැත්මෙන් ද, ඒකාන්ත තියුණු (රළු) පැවැත්මෙන් ද තමා ආධිපත්යයෙහි තබවන්නට නො හැකි වෙයි. එහෙයින් (මොළොක් වූ ද, රළු වූ ද, දෙයාකාරයෙන් හැසිරෙන්නේ ය.