1770. නැණවත් පුරුෂයා ඇසින් දැක, කනින් අසා කවර කර්‍මයන් කරන්නහු මා සතුරෙකැ යි දැනගන්නේ ද, එය දැන ගැනීමට නැණවතා කෙසේ වෑයම් කටයුතු ද?
1771. මිත්‍ර ප්‍රතිරූපකයා, මිතුරා දැක ද සිනා නො වෙයි. සතුටු නො වෙයි. ඇස් ඇර බැලීම ද නො කෙරෙයි. මිතුරා කරන කතාවට ද විරුද්ධ වේ.
1772. ඔහුගේ සතුරන් භජනය කෙරෙයි. ඔහුගේ මිතුරන් භජනය නො කෙරෙයි. ගුණ කියන්නවුන් වළකයි. නුගුණ කියන්නවුන් පසයයි.
1773. සැඟවියයුතු දෙය ඔහුට නො කියයි. ඔහුගේ සැඟවිය යුතු දෙය නො සඟවයි. ඔහුගේ වැඩ නො පසසයි. ඔහුගේ නුවණ නො පසසයි.
1774. ඔහුගේ පරිහානියේ දී සතුටු වෙයි. ඔහුගේ දියුණුවේ දී සතුටු නො වෙයි. රසවත් බොජුනක් ලද විටෙක ඔහු සිහිපත් නො කරයි. එයින් ඔහුට සංග්‍රහ කරන්නට තරම් සානුකම්පික නො වෙයි. මෙයින් නො සතුට ලබන්නේ ය.
1775. මෙසේ, සතුරා කෙරේ පිහිටි මේ සොළසාකාර ලකුණෙන් පණ්ඩිත පුරුෂයා සතුරා දැක ද අසා ද දැනැ ගන්නේ ය.
1776. කෙබඳු දේ කරන්නකු ඇසින් දැකැ කනින් අසා මේ මගේ මිතුරෙකැ යි නැණවත් පුරුෂයා දැනැ ගන්නේ ද එය දැනැ ගැනීමට නැණවත් පුරුෂයා කෙසේ වෑයම් කටයුතු ද?
1777. විදේශයට ගිය ඔහුගේ මිතුරා සිහිකරයි. ආපසු පැමිණි මිතුරා දැක ඉතා සතුටු වෙයි. ඉක්බිති මමායනය කරන්නේ වෙයි. ප්‍රිය බසින් සල්ලාපයේ යෙදෙමින් ප්‍රීත වෙයි.
1778. ඔහුගේ ම මිතුරන් භජනය කරයි. ඔහුගේ සතුරන් භජනය නො කරයි. නින්‍දා කරන්නන් වළක්වයි. ගුණ කියන්නන් පසසයි.
1779. සැඟවියයුතු දෙය ඔහුට කියයි. ඔහුගේ සැඟවිය යුතු දෙය සඟවයි. ඔහුගේ වැඩට පැසසුම් කරයි. ඔහුගේ නුවණට පැසසුම් කරයි.
1780. ඔහුගේ දියුණුවෙහි සතුටු වෙයි. ඔහුගේ පරිහානියෙහි නො සතුටු වෙයි. රසවත් බොජුනක් ලද විටෙක ඔහු සිහිපත් කරයි. එයින් ඔහුට සංග්‍රහ කරන්නට තරම් සානුකම්පක වෙයි. මෙයින් සතුටක් ලබන්නේ ය.
1781. මෙසේ මිතුරා කෙරේ පිහිටි මේ සොළසාකාර ලකුණෙන් පණ්ඩිත පුරුෂයා මිතුරා දැක ද අසා ද දැනැ ගන්නේ ය.
10. මිත්තාමිත්ත ජාතක යි.
දොළොස්වැනි නිපාතය නිමි.
එහි උද්දානය:
ලහුචිත්ත (වූලකුණාල) ය, භද්දසාල ය, කසන්ති (සමුද්දවාණිජ) ය, කාම ය, දස බලු (ජනසන්‍ධ) ය, කණ්හ (මහාකණ්හ) ය, කෝසිය ය, මෙණ්ඩක ය, මහාපදුම ය, මිත්තාමිත්ත ය යි දශ ජාතකයෝ වෙත්.