1590. මහරජ, මම එකකු හා මිතුරු වූයෙම්, ඒ මිතුරා නුදුන් පැන් බීවෙමි. ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙම් නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.
1591. මහරජ, අනෙකකුගේ බිරිඳක් දැක මට කාමාශා උපනි, ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.
1592. මහරජ, සොරු මාගේ පියා වෙනෙහි දී අල්ලා ගත්හ. මා විචාළ ඔවුන්ට දැනැ දැනැ ම වෙනත් අයුරෙකින් කීවෙමි.
1593. ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමි.
1594. සෝම යාගය (කරන මොහොත) එළඹ සිටි කල ප්රාණඝාතය කළහ. ඔවුන්ගේ කර්මය අනුදත්තෙමි. (එකඟ වීමි.) එය කරණ කොටගෙන පසුව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.
1595. සුරාවත් මේරයත් මිහිරි (පානයකැ යි) පානය කරන්නෝ අපේ ගම්හි වූ ඔහු ද, බොහෝ දෙනාට අවැඩ පිණිස හේතු වන මද්ය පානය කළහ. මම ඔවුන්ගේ කර්මය අනුදත්තෙමි. එයින් පසුව පිළිකුල් කෙළෙමි නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමි.
1596. මම කාම සම්පත් විඳින්නෙම්, නිකෙලෙස් ධ්යාන සුවය වැනි සැපතක් නො ලදිමි. දුගඳ වූ සතුරන් නමැති කටු ඇති බහුල වූ කාමයන්ට නින්දා වේවා !
1597. කාමයෝ මහත් වූ ආස්වාදය ත් සැපත ත් ඇත්තාහු වෙති. කාමය හැර අන් සැපතක් නැත. යම් කෙනෙක් කම් සැපත විඳිත් ද ඔවුහු දෙව්ලොව උපදිත්.
1598. කාම්යෝ අල්ප ආස්වාද ඇත්තාහු දුක් බහුල වූවාහු වෙත්, කාමයට වඩා දුකෙක් නැත. යම් කෙනෙක් කම් සැපත විඳිත් ද ඔවුහු නිරයේ උපදිත්.
1599. මුවහත් කළ කඩුව ද, පණපෙවූ සිරියද තෙබ ද ළෙහි පහළේ යම්සේ දුක් උපදවා ද, කාමයන් නිසා ලැබෙන දුක එයට වඩා බොහෝ වේ.
1600. පුරුෂ ප්රමාණයටත් වැඩි අඟුරු වළත් දවස මුළුල්ලේ ගිනියම් කළ හීවැලත් නිසා යම් දුකක් උපදී ද, කාමයෝ එයට වඩා බොහෝ දුක් සහිත වෙති.
1601. හලාහල විෂ ද කකියවා ගත් තෙල ද උණු කොට ගත් තඹ ද නිසා යම් පමණ දුක් උපදවා ද කාමයෝ එයට වඩා බොහෝ දුක් සහිත වෙති.
5. පානීය ජාතක යි.
1602. මම, මිතුරන් හා ඇමතියන් පිරිවරා ගත් පිය මහ රජාණන් වඳිමි. මම පැවිදි වන්නෙමි. දේවයන් වහන්සේ, එය අනුදනිත්වා.
1603. යුධංජය කුමාරය, ඔබට කාම සම්පත අඩුව ගියේ ද? එය ඔබට සපුරා දෙන්නෙමි. යමෙක් ඔබට ගැහැට කෙරේ ද ඔහු වළකාලමි. පැවිදි නො වන්න.
1604. මට කාම සම්පතෙන් අඩු නැත. හිංසා කරන්නෙක් නැත. පරලොව ගමන් සඳහා ආරක්ෂාව සලසා ගන්නට රිස්සෙමි. අමා මහනිවන සොයන්නෙමි.
1605. යුධංජය කුමාරය, පුතා පියා යදී, පියා පුතා යදි, නියම්ගම වැසියෝ ද යදිති. පුත්රය, පැවිදි නො වන්න.
1606. පියරජතුමනි, පැවිදිවන මා වළක්වනු නො මනා ය. මම කාමයෙන් මත් වූවෙක් නො වෙම්වා. ජරාවේ වසයට නො යන්නෙක් වෙම්වා.
1607. දරුව, මම ඔබ යදිමි, මම ඔබ වළකමි, ඔබ කලක් දකිනු කැමැත්තෙමි. පුතේ යුධංජය, පැවිදි නො වන්න.
1608. මනුෂ්යයන්ගේ ආයුෂ, හිර උදාවන සමයේ තණ අග පිනිබිඳු වැනි ය, අම්මෙ, මා වැළක්වීම නො මැනැවි.