1401. බමුණ, යම් කෙනෙක්, විශාල ඇස් ඇති මන්දස්මිතයෙන් කතා කරන ඔබගේ ප්රියාව පැහැරගෙන ගියෝ නම් කුමක් කෙරේ ද?
1402. මගේ සිතෙහි හටගත් කෝපය ඇය නො මුදන්නේ ය. යම්තාක් කල් මම ජීවත් වෙම් ද ඒතාක් සිතෙහි කෝපයට රැඳෙන්නට නො දෙමි. මහවැස්ස වහා ධූලි නවතන්නා සේ කෝපය වළකා ගනිමි.
1403. පෙරැ ඔබ යමක් ප්රකාශ කළේ ද (දන්) බලවතකු සේ තුෂ්ණීම්භූත ව සඟළ සිවුර මසමින් සිටී.
1404. මාගේ කෝපය උපන් නමුදු මෙරමාහට දැනෙන පරිදි නො පහළ විය, ජීවත් ව සිටින තුරු සිතෙහි කෝපය ඉපදීමට ඉඩ නො දෙන්නේ ය. මහවැස්ස ධූලි වළකන්නා සේ කෝපය වැළැකීමි.
1405. තොපගේ සිතෙහි ඉපැදුණේ කුමක් ද? ප්රකාශ නො වූයේ කුමක් ද? ජීවත් වන තොප කෙරෙන් නො මිදුණේ කුමක් ද? මහවැස්ස ධූලි වළකන්නා සේ තොප වැළැකුයේ කුමක් ද?
1406. යමක් හටගත් කලැ ආත්මාර්ත්ථය නො දකී ද. (එය) නො හට ගත් කලැ (ආත්මාර්ත්ථය) මනාසේ දකී ද, ඒ ක්රෝධය මා සිතැ උපනි. මිදුණේ නො වේ. (හෙවත් කෝපය හටගත් බව මෙරමාහට නො හැඟුණේ ය.) ක්රෝධය මෝඩයන්ට ගෝචර ය.
1407. යමක් හටගැනීම නිසා දුක රුස්නා සතුරෝ සතුටු වෙත් ද එය මට උපනි. නො මිදුණේ ය. ක්රෝධය අඥානයන්ට ගෝචර වෙයි.
1408. යමක් හටගන්නා කල්හි ආත්මාර්ත්ථය අවබෝධ නො වේ ද, එය මට උපන නො මිදුණේ ය. ක්රෝධය අඥානයන්ට ගෝචර වෙයි.
1409. මහරජ, කෝපය විසින් මඩනා ලද කලැ දශපුණ්යක්රියා දුරු කෙරේ. මහත් වූ දියුණුව බැහැර කෙරේ. කෙලෙස් සේනාවෙන් බලවත් වූ කෝපය උතුමන් පවා මඩී, එය මාගෙන් නො මිදුණේ ය.
1410. වියැළි ලීය ගටන කලැ ගින්න හටගනී. ඒ ගින්න යම් ලීයක් නිසා උපදී නම් එය ම දවයි.
1411. එ පරිදි මන්ද බුද්ධික කිසිත් නො දත් පුරුෂයාගේ සංරම්භයෙන් (එකට එක කීමෙන්) ක්රෝධය හටගනී. හෙතෙම එම කෝපයෙන් දවනු ලබයි.
1412. තණකොළ හා දර නිසා හටගන්නා ගින්න ලෙස, යමකුගේ (සිතැ) කෝපය වැඩේ ද කෘෂ්ණ පක්ෂයෙහි චන්ද්රයා පරිදි ඔහුගේ යශස පිරිහේ.
1413. යමකුට හටගත් කෝපය දර නැති ගින්න සේ නිවී සන්හිඳේ ද, පුරපසෙහි සඳ සේ ඔහුගේ යශස වැඩේ.
5. චුල්ලබොධි ජාතක යි.
1414. පින් කැමැති මම චිත්තප්රසාදය ඇති ව සත් දවසක් බ්රහ්මචාරී ව වුසූයෙම් ද, පනස් වසකට වැඩි කලක් තපස් රැක්කෙම් ද, මේ සත්ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
1415. දන් දීමට මම කිසි කලෙකත් සතුටු නො වීම් ද, නවාතැන් ගැනීමට පැමිණි ආගන්තුකයා දැක සතුටු නො වීම් ද, බහුශ්රුත වූ මහණබමුණෝ මා නො කැමැත්තෙන් දන් දෙන බව නො දත්තෝ ද මේ සත්ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
1416. දරුව, මහත් තෙදැති ඝෝරවිෂ සහිත යම් ආශීර්විෂයෙක් තුඹසින් නැඟී තා ඩැසී ද, ඒ සර්පයා කෙරෙහි ත් ඔබ පියා කෙරෙහි ත් අද විශේෂ ප්රිය බවක් නැත. මේ සත්ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
1417. කණ්හදීපායනය, (ඔබ හැර) සෙස්සෝ සන්සුන් ව දමනය කළ ඉඳුරන් ඇති ව ප්රව්රජ්යාව කෙරෙහි කැමැති ව පැවිදි වෙති. කවර කරුණක් නිසා තවුස් දම් රැකීම් පිළිකුල් කෙරෙමින් බඹසර විසීමට නො කැමැත්තෙහි ද?