1377. සත්පුරුෂ තෙම කිසි කලෙක නො කිපෙයි, යමෙක් කිපියැයුතු පුද්ගලයා කෙරෙහි කෝප නො කෙරේ ද, යමෙක් කිපියේ නමුදු කෝපය පහළ නො කෙරේ ද, ඒ පුරුෂයා ඒකාන්තයෙන් (ශමිතපාප බැවින්) ශ්රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1378. ඌන වූ උදරය (අල්පාහාර) ඇති යමෙක් සාගිනි ඉවසා ද ඉන්දිය දමනයෙන් සමන්වාගත වූයේ තපස් ඇතියේ ප්රමාණ කරනලද ආහාරපාන ඇතියේ ආහාර හේතුයෙන් පව් නො කෙරේ ද ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1379. ලෝකයෙහි සියලු (කායික, වාචසික) ක්රීඩා ද (දිව්ය කාමගුණ) රතිය ද දුරු කොට අල්පමාත්ර වූ ද මුසාවක් නො කියා ද (මාංස, ඡවී විභූෂණයෙන් ද මෛථුන සේවනයෙන් ද වෙන් වූයේ වේද, ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1380. යම් කෙනෙක් සියලු වස්තුකාමය ද තෘෂ්ණාව ද (ත්රිවිධ පරිඥායෙන්) දැන ඒකාන්තයෙන් හැරපියත් ද දැමුණු (මිථ්යා විතර්කාභාවයෙන්) ස්ථිත ස්වභාව ඇති, මමායන නැති (අඹුදරුවන් කෙරෙහි) ආශා නැති ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1381. අලාමකප්රඥා ඇති කළයුතු දැය කරන තොප පුළුවුසුම්හ, ගාථාවන්හි අපට උපන් විවාදයෙක් ඇත. අද අපගේ සැකය ද විචිකිත්සාවන් ද සිඳුව, තොප කරණකොටගෙන අපි හැමදෙනමෝ සැක දුරලම්හ.
1382. යම් පණ්ඩිත කෙනෙක් අර්ත්ථ දක්නා සමර්ත්ථ වෙත් ද ඔහු ඒ විවාදයෙහි (යුක්තප්රයුක්ත) කාලයෙහි නුවණින් කියති. රජවරුනි, ඡේක වූවාහු නමුදු නො කියනලද ගාථාවන්ගේ අර්ත්ථ කෙසේ නම් එළවා ද? (එහෙයින් කියව)
1383. (වරුණ) නාගරාජ කෙසේ කියා ද? යළි විනතාපුත්ර ගරුඬරාජ කෙසේ කියා ද? යළි ගන්ධර්වරාජ කුමක් කියා ද? යළි කුරු ජනපදවැසියන්ගේ රාජශ්රේෂ්ඨ කෙසේ කියා දැ? යි.
1384. (වරුණ) නාරජ ක්ෂාන්තිය මැ ශීල යැ යි කියයි. විනතාපුත්ර ගරුඬරාජ අල්පාහාර බව (ආහාර හේතුයෙන් පව් නො කිරීම) ද ගන්ධර්වරාජ (සක්දෙව්රජ) පඤ්චකාම රති ප්රහාණය ද කුරුරජ පළිබෝධ නැති බව ද ශීල යැ යි කියා යි.
1385. මෙ හැම සුහාෂිතයෝ යැ. මෙහි කිසි දුර්භාෂිතයෙක් නැත් මැ යි. තවද යම් පුද්ගලයක්හු කෙරෙහි තෙල ගුණජාතයෝ පිහිටියාහු චක්රනාභියෙහි සමවහිත (එක්රැස්) වූ අරයන් (දැවි) මෙන් වෙත් ද තෙල සතර දහමින් සමන්වාගත වූ ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්රමණ යැ යි ලෝකයෙහි පණ්ඩිතයෝ කීහ.
1386. තෙපි ශ්රේෂ්ඨ වවු, තෙපි (උත්තරීතරයකු නැතියෙන්) අනුත්තර වවු. තෙපි ධර්මගෝපක ද ධර්මඥ ද ධර්මවිදූ ද සුන්දරප්රඥා ඇතියහු ද වවු. ප්රාඥ තෙම ප්රඥායෙන් අපගේ ප්රශ්නය යථාභූත කොට දැනැ විචිකිත්සාවන් සින්දේ යැ. යම්සේ දන්ත ශිල්පියෙක් කියතින් ඇත්දළක් සිඳුනේ ද එසෙයින් සැකය ද විචිකිත්සාවන් ද සින්දේ යි.
1387. ප්රාඥය, (තොපගේ) ප්රශ්නව්යාකරණයෙන් තුටු වූයෙම් නිලුපුල් වන් නිර්මල වූ අනර්ඝ වූ ධූමයට බඳු පැහැ ඇති මේ වස්ත්රය ධර්මපූජා පිණිස තොපට දෙමි.
1388. ප්රාඥය, ප්රශ්නව්යාකරණයෙන් තුටු වූයෙම් දහසක් රුවනින් සැදූ කෙසුරු සහිත පිපි සියපත් (පියුම්) ඇති රන්මල්දම ධර්මපූජා පිණිස තොපට දෙමි.
1389. ප්රාඥය, ප්රශ්නව්යාකරණයෙන් තුටු වූයෙම් මාගේ ගෙලෙහි ලැගුණු මිණිරුවනින් අලංකාර වූ සිත්කලු වූ ප්රභාස්වර වූ අනගි මිණිරුවන ධර්මපූජා පිණිස තොපට දෙමි.
1390. ප්රශ්නව්යාකරණයෙන් තුටු වූයෙම් දෙනුන් දහසක් ද පුංගවයකු ද ඇතකු ද ආජානීය සෛන්ධවයන් යෙදූ මේ රිය දසයක් ද ගම්වර සොළසක් ද තොපට (ධර්මපූජාවට) දෙමි.
3. චතුපෝසථික ජාතක යි.
1391. සඞ්ඛ බමුණ, තෙපි බහුශ්රුත වූවහු ඇසූ දහම් ඇත්තහු යැ, තොප විසින් ශ්රමණ බ්රාහ්මණයෝ ද දක්නා ලදහ. (එහෙත්) නො කල්හි වලප්නහු යැ, (මෙහි) මා හැර පිළිවදන් දෙන්නේ (අනෙක් තැනැත්තේ) කවරෙක් ද?
1392. දුටු දුටුවන්ගේ සිත් ගන්නා මනා බැම ඇති, විසිතුරු රන්අබරණ පැළැඳි ස්ත්රියක් රන්තලියෙක ලූ බොජුන් ගෙන ප්රීති සිතැති ව බොජුන් බුදින්නා යි කියතුදු, මම (ඊට) නො කැමැතිය යි ඇයට කියමි.