54. මේ වෘක්ෂය දුකසේ නැංග යුත්තේ නො වෙයි. (සුවසේ නැඟියැහෙයි.) ගමින් දුරුවූයේ ද නො වෙයි. (ඉදින් මිහිරි ඵල ඇත් නම් එක ද පලයක් ඉතිරි නො වේ. එයින්) මේ වෘක්ෂය මිහිරි පල ඇත්තේ නො වෙයි (මෙ කරුණ) ආකාරයෙන් දනිමි.
4. කිංඵල ජාතකය.
55. (චතුර්විධ) යෝගක්ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා උදාර වූ අදහස් ඇති යම් මනුෂ්යයෙක් නො පසුබට වූ සිතින් කුශල ධර්මයන් වඩා ද හෙතෙමේ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්ෂයයට හෙවත් රහත්ඵලයට පැමිණෙයි.
5. පඤ්චාවුධ ජාතකය.
56. යෝගක්ෂේමයට හහෙවත් නිවනට පැමිණෙනු සඳහා දුරු කළ නීවරණයන් ඇති සිතින් (එහෙයින් ම) නිර්මල වූ සිත් ඇති යම් මනුෂ්යයෙක් කුශලධර්මයන් වඩා ද හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ ක්ෂයයට හෙවත් රහත්ඵලයට පිළිවෙළින් පැමිණෙයි.
6. කඤ්චනක්ඛන්ධ ජාතකය.
57. වානරේන්ද්රය, වාක්සත්යය, පරික්ෂාඥානය, ධෛර්ය්යය, ත්යාගය යන මේ සතර ධර්මයෝ (සතර ගුණයෝ) තට මෙන් යමකුට විද්යමාන වෙද්ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ. (සතුරා මැඩ පවත්වයි.)
7. වානරින්ද ජාතකය.
58. වානරේන්ද්රය, දක්ෂභාවය ද, නිර්භයභාවය ද, උපාය කෞශල්යඥානය ද යන මේ ත්රිවිධ ධර්මයෝ තට මෙන් යමකුට ඇත් ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ.
8. තයෝධම්ම ජාතකය.
59. බෙර ගසන්නේ ය. බෙර ගසන්නේ ය. (ප්රමාණය ඉක්මවා) අතිශයින් නො ගසන්නේ ය. නිරන්තරයෙන් බෙර ගැසීම ලාමක ය. (අනර්ත්ථකර ය.) බෙර ගසන්නාහු විසින් (කහවණු) සියයක් ලබන ලද (කාලය නො බලා) නිරන්තරයෙන් බෙර වයන්නහු විසින් (ඒ ධනය නසන ලදී.)
9. භේරිවාද ජාතකය.
60. සක් පිඹින්නේ ය. සක් පිඹින්නේ ය. (කල් නො බලා) අධික කොට නො පිඹින්නේ ය. අධික කොට පිඹීම ලාමක ය. (අනර්ත්ථකර ය) සක් පිඹින්නහු විසින් භෝගයෝ ලබන ලදහ. (අපගේ) පිය නැවත නැවත සක් පිඹින්නේ ඒ භෝගය විනාශ කෙළේ ය.
10. සඞ්ඛධමන ජාතකය.
සවැනි ආසිංස වර්ග යි.
එහි උද්දාන:
යථා ඉච්ඡිං තථා අහූ (මහාසීලව) දකථල (මූළජනක) සුරා (පුණ්ණපාති) සාදුඵල (කිංඵල) අලීනමනෝ (පංචාවුධ) සම්පහට්ඨමනෝ (කඤ්චනක්ඛන්ධ) චතුරො (වානරින්ද) තයො (තයෝධම්ම) සතලද්ධ (භේරිවද) භොගධන (සංඛධමන) යන දසය යි.