46. අනර්‍ත්‍ථයෙහි දක්‍ෂයා විසින් කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) උයන බැලීමෙහි යෙදුණු වානරයා මෙනි.
6. ආරාමදූෂක ජාතකය.
47. අනර්‍ත්‍ථයෙහි දක්‍ෂයා විසින් (අර්‍ත්‍ථයෙහි අදක්‍ෂයා විසින්) කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) සුරාව නැසූ කොණ්ඩඤ්ඤ නම් ශිෂ්‍යයා මෙනි.
7. වාරුණී ජාතකය.
48. යමෙක් අනුපායයෙන් (වැරදි මගින්) අභිවෘද්ධි කැමති වේ ද හෙතෙමේ (එයින්) විනාශ වෙයි. චේතිය නම් රටවැසි සොරු (වෛදර්භ නම් මන්ත්‍රය හේතුකොටගෙන) වේදබ්භ නම් බමුණා නැසූහ. ඒ සොරු සියලු දෙනා ද (ඔවුනොවුන් ඇන කොටාගෙන) විනාශයට පැමිණියෝ ය.
8. වේදබ්භ ජාතකය.
49. අර්‍ත්‍ථය නැකත් බලන ආඥනයා ඉක්මැ යෙයි. අර්‍ත්‍ථය (අභීෂ්ට ප්‍රතිඵල ලාභය ම) බලාපොරොත්තු වන අභිවෘද්ධිය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්‍ත්‍ථයක් යොදත් ද (නො යොදත් ම ය.)
9. නක්ඛත්ත ජාතකය.
50. මා විසින් නුවණ නැති මිනිසුන් දහසෙකින් (යාගයක් කරමි යි දේවතාවන් වෙතට ගොස්) ආරාධනා කරන ලදි. මම දැන් යාගය කෙරෙමි. කුමක් නිසා ද යත් අධාර්මික ජනයා බහුලය (එහෙයිනි.)
10. දුම්මේධ ජාතකය.
පස්වැනි අත්‍ථකාම වර්‍ග යි.
පළමු පණ්ණාසක යි.
එහි උද්දාන:
මිත්තක (ලොසක) කපොත වේළුක එළමූග (මකස) රෝහිණී කපි (ආරාම දූසක) වාරුණී වෙනචරා (වේදබ්භ) තාරක (නක්ඛත්ත) යඤ්ඤචර (දුම්මේධ) යන දසය යි.