50. මා විසින් නුවණ නැති මිනිසුන් දහසෙකින් (යාගයක් කරමි යි දේවතාවන් වෙතට ගොස්) ආරාධනා කරන ලදි. මම දැන් යාගය කෙරෙමි. කුමක් නිසා ද යත් අධාර්මික ජනයා බහුලය (එහෙයිනි.)
10. දුම්මේධ ජාතකය.
පස්වැනි අත්‍ථකාම වර්‍ග යි.
පළමු පණ්ණාසක යි.
එහි උද්දාන:
මිත්තක (ලොසක) කපොත වේළුක එළමූග (මකස) රෝහිණී කපි (ආරාම දූසක) වාරුණී වෙනචරා (වේදබ්භ) තාරක (නක්ඛත්ත) යඤ්ඤචර (දුම්මේධ) යන දසය යි.
6. ආසිංස වර්‍ගය
51. පුරුෂ තෙමේ (පටන්ගන්නා ලද ක්‍රියාවෙහි නිමාවට පැමිණෙනු සඳහා) ආශා කරන්නේ මැ ය. නුවණැත්තේ (වීර්‍ය්‍ය වඩනුයේ) උකටලි නො වන්නේ යැ. බලාපොරොත්තුව නො සිඳ ගන්නේය.) යම්සේ බලාපොරොත්තු වීම ද, එසේ මැ වී. මම (එයින් රාජ සම්පත්තියට පැමිණි) තම දක්මි.
1. මහාසීලව ජාතකය.
52. පුරුෂ තෙමේ වෑයම් කරන්නේ මැ යැ. නුවණැත්තේ (අපේක්‍ෂාව සාදාගතහැකි දැ යි) උකටලි නො වන්නේ ය. මම (වීර්‍ය්‍යයෙන් සාගරය පීනා) දියෙන් ගොඩට නැංගා වූ තමා දක්මි.
2. චූළජනක ජාතකය.
53. සුරා පාත්‍රයෝ එසේ මැ (මා යන කලැ තුබූසේ මැ) පිරුණාහ. යම් මේ (සුරාවර්‍ණනා) කතාවක් පවතී ද (මේ) අනෙකක් මැ යැ. (බොරුවෙක් මැ යැ.) ආකාරයෙන් දනිමි. ඒකාන්තයෙන් මේ සුරාව යහපත් නො වේ යැ යි.
3. පුණ්ණපාති ජාතකය.
54. මේ වෘක්‍ෂය දුකසේ නැංග යුත්තේ නො වෙයි. (සුවසේ නැඟියැහෙයි.) ගමින් දුරුවූයේ ද නො වෙයි. (ඉදින් මිහිරි ඵල ඇත් නම් එක ද පලයක් ඉතිරි නො වේ. එයින්) මේ වෘක්‍ෂය මිහිරි පල ඇත්තේ නො වෙයි (මෙ කරුණ) ආකාරයෙන් දනිමි.
4. කිංඵල ජාතකය.
55. (චතුර්විධ) යෝගක්‍ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා උදාර වූ අදහස් ඇති යම් මනුෂ්‍යයෙක් නො පසුබට වූ සිතින් කුශල ධර්‍මයන් වඩා ද හෙතෙමේ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයයට හෙවත් රහත්ඵලයට පැමිණෙයි.
5. පඤ්චාවුධ ජාතකය.
56. යෝගක්‍ෂේමයට හහෙවත් නිවනට පැමිණෙනු සඳහා දුරු කළ නීවරණයන් ඇති සිතින් (එහෙයින් ම) නිර්‍මල වූ සිත් ඇති යම් මනුෂ්‍යයෙක් කුශලධර්‍මයන් වඩා ද හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයයට හෙවත් රහත්ඵලයට පිළිවෙළින් පැමිණෙයි.
6. කඤ්චනක්ඛන්‍ධ ජාතකය.