148. මම ඇත්කඳ තුළට නැවත නො යෙමි, නැවත ද නො යෙමි, නැවත නැවත ද නො යෙමි. ඒ එසේ මැ ය. එපමණම භයින් තැති ගත්තෙම් වෙමි.
8. සිඟාල ජාතක යි.
149. මේ (කොසඹ) ගස (දෙපසෙහි) එක එක පත් ඇත්තේ ය. බිමින් සතරඟුලක් වැඩියේ ද නො වෙයි. හලාහල විෂ සමාන වූ පත්රයෙන් යුක්ත ය. මහත් වැ වැඩුණේ කුමක් නම් වන්නේ ද.
9. ඒකපණ්ණ ජාතක යි.
150. යමෙක් අසත්පුරුෂයාට සත්කාර සම්මාන කෙරේ ද අසත්පුරුෂයා සේවන හෝ කෙරේ ද, (ඒ අසත්පුරුෂයා) ඔහු ම ගිලගනී. (විනාශයට පත් කෙරෙයි) ව්යාඝ්ර සංජීවක දෙ දෙනා මෙනි.
10. සඤ්ජීව ජාතක යි.
පසළොස් වැනි කකණ්ටක වර්ග යි.
එහි උද්දානය:
සුඛමේධ (ගෝධ) දණ්ඩවර (සිගාල) ලසි (විරොචන) වාලධි (නඞ්ගුට්ඨ) පස් වැනි රාධ මහොදධි (කාක) කත්තීක (පුප්ඵරත්ත) බොන්දි (සිගාල) චතුරඞ්ගුල (ඒකපණ්ණ) ව්යග්ඝ (සංජීව) යන දසය යි.
උපරිම පණ්ණාසක යි.
එකක නිපාතය නිමි.
එහි වග්ගුද්දාන:
අපණ්ණක - සීලව - කුරුඞ්ග - කුලාවක - පස්වැනි අත්ථකාම - ආසිංස - ඉත්ථි - වරණ - අපායිම්හ - දස වැනි ලින්ත - පරොසත - හංසි - පරික්ඛ (කුසනාළි) අසම්පදාන - කකණ්ටක යනු යි.
2. දුක නිපාතය
1. දළ්හ වර්ගය
151. මල්ලික නම් රජ දැඩි (තද) අයට තදින් පහර දෙයි. මෘදු අය මෘදුභාවයෙන් දිනයි. සත්පුරුෂයා සාධු ගුණයෙන් ද අසත්පුරුෂයා අසාධු ගුණයෙන් ද දිනයි. මෙ රජ මෙබඳු ගති ඇත්තේ ය. රථාචාර්ය්ය, මාර්ගයෙන් පහව යා (යි මල්ලික රජුගේ රථාචාර්ය්යයා බරණැස් රජුගේ රථාචාර්ය්යයාට කී ය.)
152. ක්රෝධ කරන්නා ක්රෝධ නො කිරීමෙන් (මෛත්රියෙන්) දිනයි. අසත්පුරුෂයා සාධු ගුණයෙන් දිනයි. තදමසුරා (තදමසුරුබව) දීමෙන් දිනයි. බොරු කියන්නා සත්යවචනයෙන් දිනයි. මෙ රජ මෙබඳු ගුණ ඇත්තේ ය. රථාචාර්ය්ය, මාර්ගයෙන් පහව යා (යි බරණැස් රජුගේ රථාචාර්ය්යයා) මල්ලික රජුගේ රථාචාර්ය්යයාට කී ය.
1. රාජෝවාද ජාතක යි.
153. මනා කොට පරික්ෂා නො කොට කරන ලද කර්මාන්ත ඇති, (නොවිචාරා) වහා කටයුතු පටන් ගන්නහු, උණු අහරක් මුඛයෙහි තැබීමෙන් මුඛය දැවෙන්නා සේ තමාගේ ක්රියාවෝ (ඔහු) තවත් (ස්වකීය ක්රියාවලින් ඔහු තැවෙයි, දැවෙයි.)
154. සිංහ තෙමේ ද සිංහනාදයෙන් පර්වතය ඒකනාද කෙළේ ය. පර්වතයෙහි වසන්නා වූ හිවලා සිංහයාගේ මහහඬ අසා (මරණ බියෙන්) බියපත් වූයේ තැතිගැන්මට පැමිණියේ ය. ඔහුගේ හෘදය ද පැළුණේ යි.
2. සිඟාල ජාතක යි.
155. යහළුව, මම සිවුපායෙමි. යහළුව, තෝ ද සිවුපායෙහි. සිංහය මෙහි එව, නවතුව, බියපත් වූයේ කුමට පලායෙහි ද?
156. (තෝ) අපවිත්ර වූ කුණු වූ ලොම් ඇත්තෙහි ය, දුගඳ හමන්නෙහි ය. ශුකරය, ඉදින් මා හා යුද කරනු කැමැත්තෙහි නම් යහළුව තට ජය දෙමි.
3. සූකර ජාතක යි.
157. මිදීමක් කැමැත්තා වූ සර්පරාජ තෙමේ ශෛල වර්ණයෙන් මේ වල්කලාවට හෙවත් තවුස් පොරෝණය ඇතුළට පිවිසියේ ය. මම තොප වහන්සේගේ බ්රහ්මවර්ණය පුදන්නෙම් (බඩගිනි ඇත්තෙම්) කනු කැමැත්තෙම් නමුදු කන්නට නො පොහොසත් වෙමි.