112. යම් තැනෙක්හි අත්සුණු ද කාඩි ද විකුණන අංගානියෙක් (කඩපිළක්) ඇද්ද, යම් තැනෙක්හි පිපුණා වූ දෙකක් ව මැදින් බෙදී ගිය පත් ඇති කොබෝලීල රුක ද යම් අතකින් බුදිම් ද ඒ (දකුණු) දිසාවෙන් මග කියමි. යම් අතකින් නො බුදිම් ද ඒ (වම්) දිසාවෙන් (මග) නො කියමි. යවමැදුම්ගමැ පිහිටි අපගේ ගෙට මේ මාර්ගය ය. මේ සඟවා කී කාරණය දැනැගනුව.
2. අමරාදේවිපඤ්හ ජාතක යි.
113. බ්රාහ්මණය, සුරා බොන ලද හිවලාගේ වචනය අදහන්නෙහි ද (මා ළඟ) බොල්ලන් (සිප්පි) සියයකුදු නැත, කහවණු දෙසියයක් කොයින් ද?
3. සිඟාල ජාතක යි.
114. බහුචින්තී නම් මත්ස්යයා ද අප්පචින්තී නම් මත්ස්යයා ද යන දෙදෙනා ම දැලෙහි බැඳුණාහ. මිතචින්තී නම් මත්ස්යයා (ඔහුත්) දැලෙහි මිදි ය. බහුචින්තී අප්පචින්තී දෙදෙනා ම දියෙහි මිතචින්තී හා එක්වූහ.
4. මිතචින්තී ජාතක යි.
115. යමක් තොමෝ ලොල් වැ හැසිරෙන්නී අන්යයනට අනුශාසනා කරන්නී ද ඒ මේ සැළලිහිණි රියසකින් නසන ලද්දී පහවූ පියාපත් ඇති වැ මාර්ගයෙහි හෝනී ය.
5. අනුසාසික ජාතක යි.
116. ආචාර්ය්යය, තොපට නො පිළිවන් වූ අධික වූ ක්රියාවක් කෙළෙහි ය. මට ඒ කාරණය නො රුස්සයි. සතරවැනි ශස්ත්රයෙහි (නොවැටී සිරුර) පන්වා පස්වැන්නෙහි ඇවිණී ගියෙහි ය.
6. දුබ්බච ජාතක යි.
117. ඉතා උස්වූ (ඉතා මහත් කොට කියන ලද්දා වූ) ඉතා බලවත් වූ ප්රමාණය ඉක්මවා ප්රකාශිත වචනය ප්රමාණය ඉක්මවා හැඬූ වටුවා මෙන්, නුවණ නැත්තහු නසයි.
7. තිත්තිර ජාතක යි.
118. පුරුෂ තෙමේ (පැමිණි දුකින් මිදීමට උපාය) නො සිතන්නේ දුකින් මිදීම නම් වූ විශේෂයට නො පැමිණේ, (එසේ) චින්තිත කර්මයාගේ ප්රයෝජනය බලව. මම මරණයෙන් ද බන්ධනයෙන් ද මිදුණෙමි.
8. වට්ටක ජාතක යි.
119. මවුපියන් සමීපයෙහි නො වැඩුණු ආචාර්ය්යකුලයෙහි නො වුසූ මේ කුකුළා හැඬුවමනා කාලය හෝ නො හැඬූවමනා කාලය හෝ නො දනී.
9. අකාලරාවි ජාතක යි.
120. යම් තැනෙක් හි අඥානයෝ බෙණෙද්ද එතැන්හි බන්ධනයට නුසුදුස්සෝ ද බැඳෙති. යම් තැනෙක්හි නුවණැත්තෝ බෙණෙද්ද එතැන්හි බන්ධනයට සුදුස්සෝ ද මිදෙති.
10. බන්ධනමොක්ඛ ජාතක යි.
දොළොස්වැනි හංස වර්ග යි.
එහි උද්දානය:
ගද්රභ - සත්තු (අමරාදේවිපඤ්හ) කාසසත (සිගාල) බහුචින්ති (මිතවින්ති) සාසික (අනුසාසිත) අතිකර දුබ්බච අතිබල (තිත්තිර) විසේස (වට්ටක) අනාචරිය (අකාලරාවි) ධීරාපහාසර (බන්ධනමොක්ඛ) යන දසය යි.