120. යම් තැනෙක් හි අඥානයෝ බෙණෙද්ද එතැන්හි බන්ධනයට නුසුදුස්සෝ ද බැඳෙති. යම් තැනෙක්හි නුවණැත්තෝ බෙණෙද්ද එතැන්හි බන්ධනයට සුදුස්සෝ ද මිදෙති.
10. බන්ධනමොක්ඛ ජාතක යි.
දොළොස්වැනි හංස වර්ග යි.
එහි උද්දානය:
ගද්රභ - සත්තු (අමරාදේවිපඤ්හ) කාසසත (සිගාල) බහුචින්ති (මිතවින්ති) සාසික (අනුසාසිත) අතිකර දුබ්බච අතිබල (තිත්තිර) විසේස (වට්ටක) අනාචරිය (අකාලරාවි) ධීරාපහාසර (බන්ධනමොක්ඛ) යන දසය යි.
13. කුසනාළි වර්ගය
121. (ජාත්යාදීන්) සමාන වූයේ ද ශ්රේෂ්ඨ වූයේ ද (මිත්රධර්මය) කරන්නේ ය. එකෙක් හීන වූයේ ද (මිත්රධර්මය) කරන්නේ ය. ඒ මිත්රයෝ විපත්තියෙහි දී උතුම් වූ අර්ත්ථයක් ම (යහපතක් ම) කරන්නාහු ය. බුරුදගස උපන් මා ද දියබෙරලිය ගස උපන් කුසනාළි ද මෙනි.
1. කුසනාළි ජාතක යි.
122. නුවණ නැත්තේ යශස් (පිරිවර සම්පත්) ලැබැ තමනට අනර්ත්ථ පිණිස හැසිරෙයි. තමහට ද මෙරමාහට ද හිංසා පිණිස පිළිපදී.
2. දුම්මේධ ජාතක යි.
123. නුවණ නැත්තේ හැම තැනට ම නුසුදුසු තෙපුල් හැම තන්හි ම බෙණෙයි. මේ තෙමේ දී ද (දීකිරි ද) නඟුලීස ද නො දන්නේ ය. (යම්සේ) දීකිරි ද නඟුලීස යයි සිතා ද එහෙයිනි.
3. නඞ්ගුලීස ජාතක යි.
124. නුවණැති පුරුෂ තෙමේ වෑයම් කෙරේ ම ය. නො කලකිරෙන්නේ ය. වෑයම් කිරීමේ ප්රයෝජනය බලව (රස) මෙසේ ද වී යැ යි මෙසේ ද වී යැ යි ඇසීම් මාත්රයෙන් නොවැ (ප්රත්යක්ෂයෙන් ම) අඹ අනුභව කරන ලදාහු ය.
4. අම්බ ජාතක යි.
125. ඒ පුරුෂ තෙමේ අනෙක් ජනපදයකට ගියේ බොහෝ කොට ම (පරිභව හා වංචා වචන) බණන්නේ ය. නැවත අවූදින් (තමාගේ ස්වාමියා) දූෂණය කරන්නේ ය. කටාහකය (අනාචාර ගති හැරැපියා) සම්පත් අනුභව කරව.
5. කටාහක ජාතක යි.