96. මුවවිට දක්වා සමව පිරුණු නො වැගිරෙන්නා වූ තලතෙල් පාත්රය යම්සේ ගෙනැ යන්නේ ද, එසේ ම නො ගියවිරූ නිවන් දිසාව පතන්නේ ස්වකීය සිත (භාවනාවෙක යොදා) විසිර යා නො දි රක්නේ ය.
6. තෙලපත්ත ජාතක යි.
97. ජීවකයා ද මළහු දැක ධනපාලී ද දුගී වූවා දැක පන්ථකයා ද වෙනෙහි මංමුළා වූවකු දැක පාපක නමැත්තා නැවත (ආපසු) ආවේ ය.
7. නාමසිද්ධි ජාතක යි.
98. පණ්ඩිතයා නම් යහපත, උතුම් ය. (නාම මාත්රයෙන්) අති පණ්ඩිතයා උතුම් නො වේ ම ය. අතිපණ්ඩිත පුත්රයා විසින් ඇසිල්ලෙකින් දවන ලද්දෙම් වෙමි.
8. කූටවාණිජ ජාතක යි.
99. රැස්වූවන් අතුරෙහි දහසකට අධික වූ ප්රඥා රහිත වු ඔවුහු අවුරුදු සියයක් හඬන්නාහු නමුදු (කාරණය වටහා නො ගනිති. එහෙයින් උතුම් නො වේ.) යමෙක් ප්රකාශිත වචනයාගේ අර්ත්ථය දනී ද ඒ එක ප්රඥාවත් පුරුෂ තෙමේ ම උතුම් වේ.
9. පරොසහස්ස ජාතක යි.
100. අමධුරය (අකුශලකර්ම විපාක දෙන තුරු) මධුර ස්වරූපයෙන් ද අප්රියවස්තුව ප්රියස්වරූපයෙන් ද දුඃඛය සුඛස්වරූපයෙන් ද ප්රමත්ත (මුළාසිහි ඇති) පුරුෂයා යටපත් කෙරෙයි.
10. අසාතරූප ජාතක යි.
දසවැනි ලිත්ත වර්ග යි.
එහි උද්දාන:
ගිලමක්ඛ (ලිත්ත) අකුතුහල (මහාසාර) මාතුක (විස්සාසභෝජන) මුනි (ලෝමහංස) අනිච්චත (මහාසුදස්සන) පත්ථවර (තෙල පත්ත) ධනපාලිවර (නාමසිද්ධි) අතිපණ්ඩිත (කූටවාණිජ) පරොසහස්ස සාත (රූප) යන දසය යි.
මජිඣිම පණ්ණාසක යි.
11. පරොසත වර්ගය
101. රැස්වූවන් අතුරෙහි සියයකට අධික වූ ද ප්රඥා රහිත වූ ඔවුහු අවුරුදු සියයක් පරික්ෂා කොට බලන්නාහු නමුදු (කාරණය වටහා නො ගනිති. එහෙයින් උතුම් නොවේ.) යමෙක් ප්රකාශිත වචනයෙන් අර්ත්ථය දනී ද ඒ ප්රඥාවත් එක පුරුෂයා ම උතුම් වේ.
1. පරොසත ජාතක යි.
102. යමෙක් දුකින් පහරන ලද තැනැත්තියට පිහිට වන්නේ ද මාගේ ඒ පියා වෙනෙහි මිත්රද්රෝහි කර්මය කෙරෙයි. වෙනෙහි මැදැ ඒ මම කවරක් හට (පිහිට සොයා) හඬම් ද, යමෙක් (මට) පිහිට වන්නට සුදුසු ද හෙතෙමේ ම සාහසික කර්මයක් කෙරෙයි.
2. පණ්ණික ජාතක යි.
103. යම් තැනෙක්හි වෛරී පුද්ගලයා වෙසේ ද එතන්හි නුවණැත්තේ නො වසන්නේ ය. (කුමක් හෙයින් ද යත්:) එක දවසක් හො දෙකක් හො වෛරීන් අතුරෙහි (වසන්නේ) දුකින් (ම) වෙසේ.
3. වේරී ජාතක යි.
104. සතර දෙනකුගෙන් අසන්තුෂ්ට වැ අටදෙනකුන් කරා ගියේ ය. අටදෙනකුන්ගෙන් අසන්තුෂ්ට වැ සොළොස්දෙනකුන් කරා ද සොළොස්දෙනකුගෙන් අසන්තුෂ්ට වැ දෙතිස්දෙනකුන් කරා ද ගියේ ය. (ලද දෙයින් නො සතුටු වැ) වැඩියක් පතන්නේ උරචක්රයට පැමිණියේ ය. තෘෂ්ණාවෙන් පෙළන ලද පුරුෂයාගේ මස්තකයෙහි උරචක්රය (නැවත නැවත වැටීමෙන්) බමයි.
4. මිත්තවින්දක ජාතක යි.
105. වෙනෙහි බොහෝ වූ (යම්) මේ දුර්වල කාෂ්ටයක් (දණ්ඩක්) සුළඟ බිඳී ද, නාගය, ඉදින් එයට බියපත් වෙහි නම් ඒකාන්තයෙන් කෘෂ වූවෙක් වන්නෙහි ය.
5. දුබ්බලකට්ඨ ජාතක යි.