5. රජතුමනි, (පන්සියයක්) අසුන්ගේ මිල සඳහා වූ සහල් නැළිය කුමක් අගනේ දැ යි කිව මැනැවැ යි. අස් වෙළෙඳ තෙමේ රජහට කීයේ ය. නැවත රජු විසින් විමසනු ලැබූ බඩු මිල කරන්නා මේ සහල් නැළිය අගනුවරත් ගම නියම් ගමුත් සහිත බරණැස් රාජ්‍යය ම අගනේයැ යි කී ය.
5. තණ්ඩුලනාළි ජාතකය.
6. (දුසිරිතෙහි පිළිකුල ඇති කරන) හිරියෙන් ද (දුසිරිතෙහි) බියෙන් ද සම්පූර්‍ණ වූ, කුශල ධර්‍මයන්ගෙන් සමන්‍විත වූ ශාන්ත වූ සත්පුරුෂයෝ සත්ත්‍ව ලෝකයෙහි දේවධර්‍ම ඇත්තෝ ය යි කියනු ලැබෙත්.
6. දේවධර්‍ම ජාතකය.
7. මහරජ, මම ඔබගේ (අත්‍රජ) පුත්‍රයෙමි. ජනප්‍රධානය මා පෝෂණය කර. රජතෙමේ සේවක මිනිසුන් හා තිරිසනුන්ද යන අන්‍යයන් පෝෂණය කෙරෙයි. ස්වකීය ප්‍රජාව වූ මා කුමක් නිසා පෝෂණය නො කරන්නේ ද?
7. කට්ඨහාරි ජාතකය.
8. නුවණැත්තන්ගේ අවවාදයෙහි පිහිටා, ඉක්මන් නොවී උපාය ක්‍රමයෙන් කර්‍මාන්තයෙහි යෙදෙනවුන්හට ප්‍රාර්‍ත්‍ථනා කළ ප්‍රයෝජනයෙහි ආශාව නොහොත් බලාපොරොත්තු වූ ඵලය සමෘද්ධ වේ ම ය. (සතර සඞ්ග්‍රහ වස්තු මූලක යශඃ සම්පත්තීන් මුහුකරවා සිටි බැවින්) පරිපක්ව බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙම් වෙමි. ගාමණිය, (ඔබ උසස් බවට පැමිණි සැටි) මෙසේ දනුව.
8. ගාමණීචණ්ඩ ජාතකය.
9. මාගේ උත්තමාඞ්ගයෙහි (හිසෙහි) හටගත්තා වූ වයස හැර ගන්නා වූ මේ නර (පැසුණු) කෙස්හු උපන්හ. මරණයට ළඟ බව කියන නරකෙස් නම් වූ දේවදූතයෝ පහළ වූහ. දැන් මාගේ පැවිද්දට කාල යැ යි.
9. මඛාදේව ජාතකය.
10. සෙසු බොහෝ පුද්ගලයෝ යමකු රක්‍ෂා නො කෙරෙත් ද මහරජ ඒ පුද්ගල තෙමේ (වස්තුකාම ක්ලේශකාමයන්හි) අපේක්‍ෂා නැත්තේ ඒකාන්තයෙන් ම කායවිවේක චිත්තවිවේක සැපයෙන් වාස කෙරෙයි.
10. සුඛවිහාරි ජාතකය.
පළමු වන අපණ්ණක වර්‍ග යි.
එහි උද්දාන:
උතුම් අපණ්ණක-වණ්ණුපථ-උතුම් සේරිවා (වාණිජ) සුවිචක්ඛණ (චුල්ලසෙට්ඨි) තණ්ඩුලනාළි-හිරි (දේවධර්‍ම) පුත්ත (කට්ඨහාරි) වරුත්ත (මඛාදේව) ගාමණී යොච නරක්ඛති (සුඛවිහාරී) යන්න හා දස ජතකයෝ ය.
2. සීල වර්‍ගය
11. සිල්වත් වූ හෙවත් ආචාර සම්පන්න වූ (ආමිස පටිසන්‍ථාර ධම්ම පටිසන්‍ථාර යන) පිළිසඳර පෙවෙතින් යුක්ත වූවන්ට අභිවෘද්ධි (සිදු) වන්නේ ය. ඥාති සමූහයා විසින් පිරිවරන ලදුව එන්නා වූ ලක්‍ෂණ (මෘග) යා බලව. වැළි දු නෑයන්ගෙන් විශේෂයෙන් හීන වූ මේ කාල (මෘග) යා බලව. මේ දෙදෙනා දෙස බැලීමෙන් සිල්වත් බව හා පිළිසඳර පෙවෙත හා දෙක්හි වෙනස දතහේ යැ යූ සේ යි.
1. ලක්ඛණමිග ජාතකය.
12. (දියුණුව කැමැත්තේ වී නම්) න්‍යග්‍රෝධ මෘගරාජයා සේවනය කරන්නේ ය. සාඛ මෘගය කරා නො එළඹෙන්නේ ය. සාඛ මෘගයා සමීපයෙහි යම් ජීවත් වීමෙක් ඇද්ද (එයට වඩා) න්‍යග්‍රෝධ මෘගරාජයා පාමුලැ (වැදැහෙව) මිය යෑම උතුම් වන්නේ ය.
2. න්‍යග්‍රෝධමිග ජාතකය.
13. කණ්ඩින නම් ශරය ඇති දැඩි කොට විදිනා වූ පුරුෂයාට නින්‍දා වේවා! යම් ජනපදයෙක්හි ස්ත්‍රියක් තොමෝ පරිණායිකා වන්නී ද ඒ ජනපදයට නින්‍දා වේවා ! යම් කෙනෙක් ස්ත්‍රීන්ගේ වසයට ගියාහු ද ඒ සත්ත්‍වයෝ ද නින්‍දිතයහ.
3. කණ්ඩින ජාතකය.
14. නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහි ද මිත්‍ර සන්‍ථවයෙහි ද (ඡන්‍දරාගය) ලාමක ය. දිවට දැනෙන රසයෙහි ඡන්‍දරාගය යටැ කී දෙකරුණෙහි ඇල්මට වැඩ ලාමකතරය. ඊට වැඩ අධික ඡන්‍දරාගයක් නො ම ඇත්තේල. සඤ්ජය නම් උයන්පලු තෙමේ වනගහන ස්ථානයෙහි වූ වාතමෘගයා රසයෙන් පොළොඹවා තමාගේ වසයට පැමිණැවීය.
4. වාතමිග ජාතකය.
15. ඛරාදිය නමැත්තිය කුර අටක් ඇති මුලින් වක් වූ අං ඇති හෙයින් වඞ්කාතිවඞ්කිත වූ අවවාද කාලසතක් ඉක්මවා සිටි අකීකරු ඒ මෘගයාට අවවාද කරන්නට උත්සාහ නැත්තෙමි.
5. ඛරාදිය ජාතකය.
16. සහෝදරිය, ත්‍රිවිධාකාරයෙකින් ශයනය කරන්නා වූ අට කුරයක් ඇති බොහෝ මෘගමායා දන්නා වූ මාධ්‍යම රාත්‍රියෙහි පැන් බොන්නා වූ (බෑනණු) මෘගයාට (මෘගමායා) හොඳින් ඉගැන්වීමි. (ඒ කෙසේ ද යත්) යට වූ එක් නාසිකා ශ්‍රෝතසකින් පොළොවට ආශ්වාස හරනේ සවැදෑරුම් මෘගමායා කලාවෙන් බෑනණු තෙමේ වැද්දා වංචා කරන්නේ ය.
6. තිපල්ලත්ථමිග ජාතකය.