මහණෙනි, සැපවෙදනාව (විපරිණාම) දුක් වශයෙන් දැක්ක යුතු ය. දුක් වේදනාව (පීඩනාර්ත්ථයෙන්) හුල් වශයෙන් දැක්ක යුතු ය. නොදුක් නොසැප වේදනාව අනිත්ය වශයෙන් දැක්ක යුතු ය. මහණෙනි, යම් හෙයකින් මහණ සැප වේදනාව දුක් වශයෙන් දක්නා ලද ද, දුක් වේදනාවහුල් වශයෙන් දක්නා ලද ද, නොදුක් නොසැප වේදනාව අනිත්ය වශයෙන් වශයෙන් දක්නා ලද ද, මහණෙනි, මේ මහණ තෙම ආර්ය්ය යැ යි ද, සම්යග් දර්ශී යැ යි ද කියනු ලැබේ. හෙ තෙමේ තෘෂ්ණාව සිඳැ ලීය. සංයෝජන පෙරළා ලීය. මනා කොට මානයාගේ දර්ශනප්රහාණාභිසමයයෙන් (සියලු) දුක් කෙළවර කෙළේ ය.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමෙක් සැපවෙදනාව දුක් වශයෙන් දුටුයේ ද, දුක්වේදනාව හුල් වශයෙන් දුටුයේ ද, නොදුක් නොසැප ශාන්ත වූ ඒ වේදනාව අනිත්ය වශයෙන් දුටුයේ ද, ඒ මහණ තෙම ඒකාන්තයෙන් සම්යක්දර්ශී නම් වෙයි. යම් හෙයෙකින් ඒ වේදනායෙහි සමුච්ඡේද වශයෙන් මිදේ ද (එහෙයිනි).
3. විශිෂ්ටඥානයෙන් දැන නිමවන ලද කෘත්ය ඇති ශාන්ත වූ ඒ රහත් මහණ තෙමේ ඒකාන්තයෙන් කාමාදි චතුර්යොගයන් ඉක්මවූයේ නම් වෙයි.
මෙ කරුණ ද භාග්යවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 5.
[ප්රථම ඒෂණා සූත්රය]
54. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ සෙවීම් තුණෙකි. කවර තුණෙක්ද යත්: කාමය පිළිබඳ සෙවීමය, භවය පිළිබඳ සෙවීමය, බඹසර පිළිබඳ සෙවීමය (යන මේ යි.) මහණෙනි, මේ සෙවීම් තුණ වේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “එකඟසිත් ඇති, යහපත් නුවණැති, සිහියෙන් යුත් බුද්ධශ්රාවක තෙමේ සෙවීම් ද සෙවීම් පිළිබඳ සම්භවය (හටගැන්ම) ද මනා කොට දනී.
3. යම් තැනෙක ඒ සෙවීම් නිරුද්ධ වේ නම් ඒ නිවණ ද, නිර්වාණගාමී මාර්ගය ද දනී. ඒ මහණ තෙමේ එම පර්ය්යෙෂණයන් ක්ෂය කිරීමෙන් ආශාරහිත වූයේ පිරිනිවියේ නම් වෙයි.
මෙ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
3. 1. 6.
[දෙවෙනි ඒෂණා සූත්රය]
55. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ ඒසනා (සෙවීම්) තුණෙකි. කවර තුණෙක් ද යත්: කාමය සෙවීමය, භවය සෙවීමය, බඹසර සෙවීමය. මහණෙනි, මේ සෙවීම් තුණයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. කාමේසනා, භවේසනා, මේ ම සැබව සෙසු සියල්ල හිස් ය යි දෘෂ්ටිගත වශයෙන් සම්මත වූ බ්රහ්මචරියේසනා සමග ඒසනා තුණෙකි.
3. සියලු (කාම භව) රාගයන්ගෙන් වෙන් වූ, තෘෂ්ණාක්ෂය සඞ්ඛ්යාත නිර්වාණයෙහි (නිවන අරමුණු කොට) කෙලෙසුන්ගෙන් මිදුණා වූ (රහත්හු විසින්) ඒසනා බැහැර කරන ලදහ. දෘෂ්ටීහු (ප්රථමමාර්ගයෙන්) නසන ලදහ. ඒ මහණ තෙමේ එ ම පර්ය්යෙෂණයන් ක්ෂය කිරීමෙන් ආශා නැත්තෙක් ද (කෙසේ කෙසේ දැ යි පැවති) සැක නැත්තෙක් ද වෙයි.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.