2. 1. 6.
[භද්දක සීල සූත්රය]
33. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්ගයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: යහපත් ශීලයෙන් ද, යහපත් දෘෂ්ටියෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්ගයෙහි උපදී.
බුදුහු මෙ කරුණ වදාළ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යහපත් වූ ශීලයෙන් ද යහපත් වූ දෘෂ්ටියෙන් ද, යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්යයෙක් වේ ද, ඒ නුවණැති පුද්ගල තෙමේ මරණින් මතු ස්වර්ගයෙහි උපදී.”
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 7.
[ආනාතාපී සූත්රය]
34. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, කෙලෙස් තවන වීර්ය්යයෙන් තොර වූ, (කුසීත වූ) පවට බිය නැති මහණ තෙමේ ආර්ය්යමාර්ගාධිගමයට සුදුස්සෙක් නො වේ. නිර්වාණාධිගමයට සුදුස්සෙක් නො වේ. රහත් පලයට පැමිණීමට සුදුස්සෙක් නො වේ. මහණෙනි, කෙලෙස් තවන වීර්ය්යය ඇති පවට බිය ඇති මහණ තෙමේ ආර්ය්යමාර්ගාධිගමයට සුදුස්සෙක් වේ. නිර්වාණාධිගමයට සුදුස්සෙක් වේ. අර්හත්ඵලාධිගමයට සුදුස්සෙක් වේ.
මෙ කරුණ බුදුහු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. කෙලෙස් තවන වීර්ය්ය නැත්තා වූ, පවට බිය නොවන සුලු වූ, කුසීත වූ, වීර්ය්යය නැති, ථීන-මිද්ධය බහුල කොට ඇති, ලජ්ජා නැති, මනා පිළිවෙත්හි ආදරයක් නැති යම් මහණෙක් වේ ද, හෙ තෙමේ උතුම් වූ අර්හත්වය ලබන්ට සුදුස්සෙක් නො වේ.
3. යම් කිසි මහණෙක් මනා සිහියෙන් යුක්ත වූයේ, ප්රඥා ඇත්තේ, ධ්යාන වඩන සුලු වූයේ, කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ, පවට බිය වන සුලු වූයේ, කමටහන් වැඩීමෙහි පමා නොවූයේ, ජාතිජරා සංයෝජන ධර්මයන් සිඳ මේ අත්බැව්හි ම උතුම් රහත්මඟ නුවණ ලබන්නේ ය.
මේ අර්ත්ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 8.
[ප්රථම ජනකුහන සූත්රය]
35. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ මාර්ගබ්රහ්මචර්ය්යය (නොහොත් ශාසන බ්රහ්මචර්ය්යය) ‘ජන තෙමේ මා මෙසේ දනීවා’යි ජනයා විස්මය පත් කරණු පිණිස, ජනයා ලවා සිය ගුණ කියවනු පිණිස, ලාභසත්කාරකීර්ති සඞ්ඛ්යාත අනුසස් පිණිස නො වසනු ලැබේ. මහණෙනි, වැලිදු මේ බ්රහ්මචර්ය්යය සංවරය පිණිස ද ක්ලේශප්රහාණය පිණිස ද වසනු ලැබේ.
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. ඒ භාග්යවතුන් වහන්සේ සංවරය පිණිස ද, ප්රහාණය පිණිස ද, උපද්රව රහිත වූ, නිවන් නමැති ප්රතිෂ්ඨාවට පමුණුවන බ්රහ්මචර්ය්යය වදාළ සේක.
3. මේ මාර්ගය උදාර අදහස් ඇති මහාත්මයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය. බුදුරදුන් විසින් දේශනා කරණ ලද පරිදි යම් කෙනෙක් මේ බ්රහ්මචර්ය්යය පිළිපදිත් ද, ශාස්තෘශාසනය කරන්නා වු (ඔහු තුමූ) සසර දුක් කෙළවර කරන්නාහ.
මෙ කරුණ බුදුහු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 9.
[දෙවෙනි ජනකුහන සූත්රය]
36. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ මාර්ගබ්රහ්මචර්ය්යය (නොහොත් ශාසනබ්රහ්මචර්ය්යය) ‘ජන තෙමේ මා මෙසේ දනීවා’යි ජනයා විස්මය පත් කරණු පිණිස, ජනයා ලවා සිය ගුණ කියවා ගනු පිණිස, ලාභසත්කාර කීර්ති සඞ්ඛ්යාත අනුසස් පිණිස නො වසනු ලැබේ. මහණෙනි, වැලිදු මේ බ්රහ්මචර්ය්යයන් සර්වධර්මයන් විශිෂ්ටඥානයෙන් අවිපරීත ලෙස දැන ගණු පිණිස ද ත්රෛභූමක ධර්මයන් පිරිසිඳ දැන ගණු පිණිස ද වසනු ලැබේ.
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ඒ භාග්යවතුන් වහන්සේ සර්වධර්මයන් ඇති සැටියෙන් විශිෂ්ටඥානයෙන් දැන ගණු පිණිස, ත්රෛභූමකධර්මයන් පිරිසිඳ දැන ගණු පිණිස ශඞ්කාරහිත වූ නොහොත් උවදුරු රහිත වූ නිවණට පමුණුවන මාර්ගබ්රහ්මචර්ය්යය දේශනා කළ සේක.
3. මේ මාර්ගය උදාර අදහස් ඇති, බුද්ධාදි මහාත්මයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය. බුදුරදුන් විසින් දේශනා කරණ ලද පරිදි යම් කෙනෙක් මේ මාර්ගබ්රහ්මචර්ය්යය පිළිපදිත් ද, ශාස්තෘශාසනය කරන්නා වු (ඔහු තුමූ) සසර දුක් කෙළවර කරන්නාහ.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.