2. 1. 4.
[අතපනීය සූත්රය]
31. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, පසුතැවිල්ල ඇති නො කරණ (පසුතැවිල්ලට හේතු නොවන්නා වූ) මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් කරණ ලද කලණ දම් ඇත්තේ, කරණ ලද කුසල් ඇත්තේ, කරණ ලද පුණ්යකර්ම ඇත්තේ, නොකරණ ලද පාපකර්ම ඇත්තේ, නොකරණ ලද රෞද්ර කර්ම ඇත්තේ, නොකරණ ලද කිලිටි කම් ඇත්තේ වේ ද, හෙ තෙමේ ‘මා විසින් පින් කරණ ලදැ’යි ද නො තැවෙයි. ‘මා විසින් පව් නොකරණ ලදැ’යි ද නො තැවෙයි. මහණෙනි, පසුතැවිල්ල ඇති නොකරණ මේ ධර්මයෝ දෙදෙන වෙත්.
භාග්යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය ම (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ:
2. “ඒ ප්රාඥ පුද්ගල තෙමේ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත හා වෙනත් සදොස් දැ ද (අකුසල්) හැර පියා,
3. අකුසල් නොකොට, බොහෝ කුසල් කොට, මරණින් මතු සුගතියෙහි උපදී.”
මේ කරුණ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
2. 1. 5.
[පාපක සීල සූත්රය]
32. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන දෙකෙනි. මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්යයෙක් වේ ද, ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 6.
[භද්දක සීල සූත්රය]
33. භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්ගයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: යහපත් ශීලයෙන් ද, යහපත් දෘෂ්ටියෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්ගයෙහි උපදී.
බුදුහු මෙ කරුණ වදාළ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යහපත් වූ ශීලයෙන් ද යහපත් වූ දෘෂ්ටියෙන් ද, යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්යයෙක් වේ ද, ඒ නුවණැති පුද්ගල තෙමේ මරණින් මතු ස්වර්ගයෙහි උපදී.”
මේ අර්ත්ථය ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 7.
[ආනාතාපී සූත්රය]
34. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, කෙලෙස් තවන වීර්ය්යයෙන් තොර වූ, (කුසීත වූ) පවට බිය නැති මහණ තෙමේ ආර්ය්යමාර්ගාධිගමයට සුදුස්සෙක් නො වේ. නිර්වාණාධිගමයට සුදුස්සෙක් නො වේ. රහත් පලයට පැමිණීමට සුදුස්සෙක් නො වේ. මහණෙනි, කෙලෙස් තවන වීර්ය්යය ඇති පවට බිය ඇති මහණ තෙමේ ආර්ය්යමාර්ගාධිගමයට සුදුස්සෙක් වේ. නිර්වාණාධිගමයට සුදුස්සෙක් වේ. අර්හත්ඵලාධිගමයට සුදුස්සෙක් වේ.
මෙ කරුණ බුදුහු වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. කෙලෙස් තවන වීර්ය්ය නැත්තා වූ, පවට බිය නොවන සුලු වූ, කුසීත වූ, වීර්ය්යය නැති, ථීන-මිද්ධය බහුල කොට ඇති, ලජ්ජා නැති, මනා පිළිවෙත්හි ආදරයක් නැති යම් මහණෙක් වේ ද, හෙ තෙමේ උතුම් වූ අර්හත්වය ලබන්ට සුදුස්සෙක් නො වේ.
3. යම් කිසි මහණෙක් මනා සිහියෙන් යුක්ත වූයේ, ප්රඥා ඇත්තේ, ධ්යාන වඩන සුලු වූයේ, කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ, පවට බිය වන සුලු වූයේ, කමටහන් වැඩීමෙහි පමා නොවූයේ, ජාතිජරා සංයෝජන ධර්මයන් සිඳ මේ අත්බැව්හි ම උතුම් රහත්මඟ නුවණ ලබන්නේ ය.
මේ අර්ත්ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.